සමාජ මාධ්‍යවල බලපෑමේ තරම Rahul හෙළි කරයි

IPL 2023

715

ආබාධයක් නිසා 2023 IPL තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ Lucknow Super Giants නායක KL Rahul විසින් තමන් විසින් ගෙවා දැමූ අසීරු කාලය පිළිබඳ සංවේදී වෙමින් අදහස් පළ කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවෙකු ලෙස කලක් තිස්සේ ම දස්කම් දවමින් සිටි Rahul විසින් පසුගිය මාස කිහිපයේ තරමක් දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර, දිගින් දිගට ම කණ්ඩායම වෙනුවෙන් සිය උපරිමය ලබා දීමට අසාර්ථක වීම නිසා ඔහුට කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වුනා.

එමෙන් ම පසුගිය වසරේ බංග්ලාදේශය සමඟ පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ නායකත්වය පවා දැරීමට අවස්ථාව හිමි වූ Rahulට මෙම වසර මුල දී නිත්‍ය ලෙස හිමි වී තිබූ ඉන්දීය උප නායකත්වය ද අහිමි ව ගියා.

පිතිකරණය පැත්තෙන් බැලූ කල IPL ඉතිහාසයේ විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් ව ඇති Rahul මෙවර තරගාවලියේ දී එතරම් සාර්ථකත්වයක් නොපෙන්වූ අතර, තරගාවලිය අතරමැද දී පාදයේ ආබාධයකට ද ලක් වුනා. ඒත් සමඟින් IPL තරගාවලිය මෙන් ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ද ඔහුට මග හැරී යන බවයි දැන ගන්නට ලැබෙන්නේ.

ඔහුගේ අසාර්ථක පිතිකරණය නිසා ම ඔහුට පසුගිය කාලය පුරාවට ම සමාජ මාධ්‍යවලින් දැඩි ප්‍රහාර එල්ල වූ අතර, අවසානයේ එම වාග් ප්‍රහාරවලට හිටපු ඉන්දීය ක්‍රීඩකයින් පවා එකතු වුනා.

මේ අතර පසුගිය දිනක Podcast වැඩසටහනකට එක් වෙමින් Rahul විසින් පසුගිය කාලයේ තමන්ට මුහුණ දීමට සිදු වූ මෙම සමාජ මාධ්‍ය ප්‍රහාර පිළිබඳ සිය අත්දැකීම මෙසේ හෙළි කළා.

“මම දන්නවා පසුගිය මාස කිහිපය මට පිටියේ දී ඒ තරම් හොඳ වුනේ නැහැ. ඒත් මට ඒ කාලයේ ලැබුණු සහයෝගයෙන් තේරුණේ මම මගේ ජීවිතයේ හරි දෙයක් කරලා තියෙනවා කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට විතරක් නෙවෙයි, සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහටත් මම මිනිසුන්ට හොඳ බලපෑමක් කරලා තියෙනවා කියන එක මගේ හදවතට දැනුණා.”

Rahul විසින් ගෙවුණු කාලයේ තමන් වෙනුවෙන් පෙනී සිටි අයට ස්තුතිය පළ කරමින් සිය කතාව ආරම්භ කළා. ඉන්පසුව තමාට එල්ල වූ සෘනාත්මක අදහස් පිළිබඳ ඔහු මෙසේ සිය අදහස් පළ කළා.

“මේ කාලයේ මේවා හරිම පහසු දේවල්. කෙනෙක් ගැන සෘනාත්මක අදහස් දකිද්දී, ඒ කෙනා පහතට වැටිලා ඉන්න බව දකිද්දී කිහිප දෙනෙකු විසින් තීරණය කරනවා එම පුද්ගලයාට දැන් දැනෙනවාටත් වඩා අසීරු මට්ටමකට ඇද දමන්න.

ඒක සමහර වෙලාවට මටත් බලපාලා තියෙනවා. ඒ වගේ ම අනෙක් අයටත් ඒක බලපානවා. තමන්ට ඕනෑම දෙයක් කියන්න බලය තියෙනවා කියලා සමහරුන්ට හැඟෙන්න පටන් ගන්නවා.

ඒ වෙලාවට පොඩ්ඩක් බලන්න ඒ පුද්ගලයින් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. අපි කාටවත් දුර්වල විදිහට ක්‍රීඩා කරන්න අවශ්‍ය නැහැ.

මේක තමයි අපේ ජීවිතය, මේක තමයි අපි හැමෝම කරන්නේ. මම ක්‍රිකට් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන දන්නේ නැහැ.

ඇයි කවුරු හරි හිතන්නේ මම මගේ ක්‍රීඩාව ගැන බැරෑරුම් ලෙස සලකන්නේ නැහැ කියලා, මම ප්‍රමාණවත් තරම් වෙහෙස වෙන්නේ නැහැ කියලා.”

Rahul විසින් සංවේදීව එවැනි සඳහනක් කිරීමෙන් පසු අවධාරණය කළේ, පෙර දී තමන් විසින් මෙවැනි ප්‍රතිචාර පිළිබඳ අවධානය යොමු කළ නමුත් දැන් ඒවායින් ඈත් වී සිටීමට උත්සාහ කරන බවයි.

“මම වෙහෙස වෙලා වැඩ කළාට ප්‍රතිඵල හොඳ විදිහට ආවේ නැහැ. නමුත් සමහර වෙලාවට මම ඒ තරම් මහන්සි නොවෙන වෙලාවට හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ක්‍රීඩාවට සූත්‍ර නැහැ, මේවා අතර සම්බන්ධයක් නැහැ.

ක්‍රීඩකයින්ට සහය ලබා දෙන අය ඉන්නවා, නමුත් මම පෞද්ගලිකව උත්සාහ කරන්නේ මේ දෙකෙන් ම (හොඳ සහ නරක ප්‍රතිචාර) ඈත් වෙලා ඉන්න. ඔබට එහෙම කරන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඔබට මිනිසුන් කියන හොඳ දේවල්වලට ඇහුම්කන් දෙන්න අවශ්‍ය වේවි.

නමුත් ඔබ ඒ දේවල්වලට ඇලුනොත් ඔබ අනිවාර්යයෙන් ම ඒකේ අනිත් පැත්තටත් (නරක ප්‍රතිචාර) සූදානම් ව සිටිය යුතු බව වටහා ගත යුතුයි. ඔබ කිරීමට අවශ්‍ය දේ තෝරා ගත යුතුයි. කාලයක් තිස්සේ ම මට එය බලපෑමක් එල්ල කලේ නැහැ. මම හිටියේ ‘ මට වැඩක් නැහැ, මම මේ අය වැරදි බව ඔප්පු කරන්නම්’ කියලා. නමුත් මට පසුව වැටහුණා මේවා මට බලපානවා කියලා. නමුත් මම එය සඟවන්න උත්සාහ කළා.”

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<