Klaasenගේ ක්ලැසික් ශතකය Kohliගේ රාජකීය ශතකයෙන් වැසී යයි!

IPL 2023

548
Sunrisers Hyderabad vs Royal Challengers Bangalore

2023 IPL තරගාවලියේ 65 වැනි තරගය Royal Challengers Bangalore සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර ඊයේ (18) හයිද්‍රාබාද් හිදි පැවැත්වුනා.

මෙම තරගය ජයග්‍රහණය කිරීම බැංගලෝරයට අත්‍යාවශ්‍ය ව තිබූ අතර, දැනටමත් තරගාවලියෙන් ඉවතට විසි වී සිටින හයිද්‍රාබාදයට මෙය සිය ගෞරවය රැක ගැනීමේ සටනක් බවට පත් වී තිබුණා.

එවැනි වටපිටාවක් තුල ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් බැංගලෝර් නායක Faf Du Plessis විසින් පළමුව පන්දුවට පහර දීමට හයිද්‍රාබාදයට ඇරයුම් කළ අතර ඔවුන් ඊට පිළිතුරු ලෙස නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 186ක් සිය ලකුණු පුවරුවේ සටහන් කර ගැනීමට සමත් වුනා.

මෙම හයිද්‍රාබාද් ඉනිම සම්පූර්ණයෙන් ම Heinrich Klaasenගේ ග්‍රහණයට නතු වූ එකක් ලෙස සඳහන් කළ යුතුමයි. පන්දුවාර 4 පන්දු 3ක් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 28ක් සිය ලකුණු පුවරුවට එක් කර ගෙන සිටි හයිද්‍රාබාද් ඉනිමේ සිව් වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි Klaasen විසින් නායක Adien Markram සමඟ ඉනිමේ තෙවැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, ලකුණු 18ක් ලබා සිටි Markramගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි Harry Brook සමඟ ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 74ක් එක් කිරීමට Klaasen විසින් සමත් වුනා.

මෙම කඩුලු දෙක වෙනුවෙන් හයිද්‍රාබාද් ඉනිමට එක් වූ ලකුණු 150න් 104ක ම අයිතිය Klaasenගේ නමට ලියැවී තිබූ අතර ඔහු ඒ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 51ක් පමණයි. මෙහි දී පන්දු 48කින් ලකුණු 97ක් ලබා සිටි Klaasen විසින් Harshal Patel යොමු කළ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සිය පළමු IPL ශතකය වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්. එමෙන් ම Klaasenගේ මෙම ශතකය වෙනුවෙන් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් අන්තර්ගත වී තිබුණා.

කෙසේ වෙතත් ශතකය ලබා ගැනීමෙන් මොහොතකට පසු Harshal Patel හමුවේ ම Klaasenගේ කඩුල්ල දැවී යාමත් සමඟ එම විශිෂ්ට ඉනිම නිමා වූ අතර ඉන් පසුව Brook සමඟ පිටියේ එක් වූ Glenn Phillips ඉනිමේ අවසන් පන්දුවේ දී ලකුණු 5කට දැවී යන විට හයිද්‍රාබාද් මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5කට ලකුණු 186ක් ලෙස සටහන් වී තිබුණා.

මෙම ඉනිම සම්පූර්ණයෙන් ම Klaasenගේ පිහිටෙන් ගොඩ ගිය එකක් ලෙස හඳුන්වා දිය හැකි අතර ඔහුට පසුව ඉනිමේ ඉහළ ම ලකුණු ලාභියා වූ Brook ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 27ක් පමණක් වීම ඊට හොඳම නිදසුන ලෙස සඳහන් කළ හැකියි.

අද තරගයට ද ශ්‍රී ලංකාවේ සුපිරි පා දඟපන්දු යවන්නා වනිඳු හසරංග තම කණ්ඩායම සමඟ එක් කර නොගැනීමට බැංගලෝරය තීරණය කළ තිබූ අතර ඔහු වෙනුවට විදෙස් නියෝජනය ලෙස ක්‍රීඩා කළ Michael Bracewell විසින් පන්දුවාර 2ක දී ලකුණු 13කට කඩුලු 2ක් බිඳ හෙළමින් බැංගලෝරය වෙනුවෙන් සාර්ථක ම පන්දු යවන්නා බවට පත් වීමට සමත් වුනා.

මේ අනුව හයිද්‍රාබාදය විසින් ලබා දුන් ලකුණු 187ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි බැංගලෝරයේ සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන Virat Kohli සහ Faf Du Plessis විසින් මෙවර තරගාවලියේ වාර්තා වූ හොඳම ලකුණු සබඳතාව වාර්තා කිරීමට සමත් වුනේ පන්දු 107කින් ලකුණු 172ක සබඳතාවක් පිහිටුවමිනුයි.

මෙහි දී තරගාවලියේ පසුගිය තරග කිහිපය තුල යම් පසුබෑමක් පෙන්වමින් සිටි සුපිරි පිතිකරු Virat Kohli විසින් තමන්ට එල්ල වෙමින් තිබූ සියලු චෝදනාවලට පිත්තෙන් පිළිතුරු දෙමින් පන්දු 62ක් පමණක් වැය කරමින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහු සිය ඉනිමට අලංකාර හතරේ පහර 12ක් සහ 6 පහර 4ක් එකතු කර ගත් අතර, ලකුණු 94ක් ලබා සිටිය දී Bhuvneshwar Kumar හට එල්ල කළ හයේ පහරකින් සිය ශතකය සම්පූර්ණ කර ගැනීමට ද ඔහු සමත් වුනා. එමෙන් ම මෙය ඔහුගේ 6 වැනි IPL ශතකය ලෙස සටහන් වූ අතර, ඒත් සමඟින් ම වැඩි ම IPL ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ Chris Gayle සමඟ සම තැන් ගැනීමට ද Kohli විසින් ඊයේ සමත් වුනා.

නමුත් අවාසනාවන්ත ලෙස Kohli විසින් Bhuvneshwarගේ මීළඟ පන්දුවෙන් දැවී ගියා. එමෙන් ම Kohliගේ දැවී යාමෙන් පසුව Faf Du Plessis ද පන්දු 47කින් ලකුණු 71ක් ලබා සිටිය දී සිය ඉනිම නිමා කළේ මෙවර තරග වාරයේ මුළු ලකුණු 700 සීමාව ද පසු කර යමිනුයි. එමෙන් ම ඔහු තවමත් මෙවර තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ද වනවා.

මොවුන් දෙදෙනාගේ කඩුලු ඉක්මනින් බිඳ වැටුනත් පසුව පිටියේ එක් වූ Glenn Maxwell සහ Michael Bracewell විසින් බැංගලෝරය නියමිත ඉලක්කය වෙත පහසුවෙන් ම රැගෙන යාමට සමත් වූ අතර, ඒ අනුව පන්දුවාර 19 පන්දු 2ක් තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගත් බැංගලෝරය මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

  • Sunrisers Hyderabad 186-5 (20) Heinrich Klaasen 104, Michael Bracewell 2-13
  • Royal Challengers Bangalore 187-2 (19.2) Virat Kohli 100, Faf du Plessis 71, T Natarajan 1-34

මෙහි දී කණ්ඩායම් දෙකෙන් ම පිතිකරුවන් දෙදෙනෙකු විසින් විශිෂ්ට ශතක රැස් කිරීමට සමත් වූ අතර, අවසානයේ ජයග්‍රාහී ශතකය වෙනුවෙන් Virat Kohli හට තරගයේ වීරයා සම්මානය පිරිනැමුණා.

මෙම ජයග්‍රහණයත් සමඟින් Royal Challengers Bangalore මෙවර තරගාවලියේ ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වූ අතර දැන් Mumbai Indians සහ බැංගලෝරය අතර Play-Off තරග වටයට පිවිසීම වෙනුවෙන් ප්‍රබල තරගයක් නිර්මාණය වී තිබෙනවා.

එමෙන් ම ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියත් චෙන්නායි සහ ලක්නව් කණ්ඩායම් පවා තවමත් ඉදිරි වටය වෙනුවෙන් නිල වශයෙන් සුදුසුකම් ලබා නොතිබීම මෙම සටන තවත් තීව්‍ර එකක් බවට පරිවර්තනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර IPL තරගාවලියේ මූලික වටය වෙනුවෙන් තවත් පැවැත්වීමට ඉතිරි වී ඇත්තේ තරග 5ක් පමණක් වන අතර ඒවායින් මෙම සියලු ගැටලු වලට පිළිතුරු ලබා ගැනීමට හැකි වේවි.

ඒ අනුව Punjab Kings සහ Rajasthan Royals කණ්ඩායම් විසින් මූලික වටයේ ක්‍රීඩා කරන අවසන් තරගය අද (19) පැවැත්වීමට නියමිත අතර මෙම තරගය ඇතුළු තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. 2023 IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<