ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලාංකිකයින් ඉන්නේ කොතන ද?

ICC Player Rankings

1227
​Icc player rakings were updated

පසුගිය දින කිහිපයේ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරග තුනක් නිසාවෙන් ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හී වෙනස්කම් කිහිපයක් ඇති වී තිබෙනවා.

ඊයේ (16) දිනයෙන් යාවත්කාලීන වූ ICC ශ්‍රේණිගත කිරීම්වල දී ඉන්දීය, ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව මෙන්ම දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරග මෙම වෙනස්කම් ඇති කිරීමට හේතුව බව වටහා ගත හැකියි.

නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කල මෙම ශ්‍රේණිගත කිරීම්වල සතුටු වීමට වැඩි යමක් නොමැති නමුත්, මීට පෙර පටන් විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර සිව්වැනි ස්ථානයේ රැඳී සිටි වනිඳු හසරංග හට කිසිදු වෙනසකින් තොරව එම ස්ථාන තවදුරටත් රැක ගැනීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයෙන් යාවත්කාලීන වූ ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානය තව දුරටත් තහවුරු කර ගැනීමට ඉන්දීය ක්‍රීඩක Ravichandran Ashwin විසින් සමත් වී ඇති අතර ඔහු සහ දෙවැනි ස්ථානයේ පසු වන James Anderson අතර ලකුණු පරතරය ලකුණු 10ක මට්ටමක් දක්වා ගෙන ඒමට ද Ashwin සමත් වී තිබෙනවා. නිමා වූ ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (කඩුලු 25) වීමට Ashwin විසින් සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමග පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු හතක් බිඳ හෙළීමට සමත් වූ නවසීලන්ත නායක Tim Southee විසින් නවතම පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමේ හී ස්ථාන හයක් ඉදිරියට එමින් 12 වැනි ස්ථානයට පත් වීමට සමත් වී තිබෙනවා.

මේ අතර නිමා වූ ඕස්ට්‍රේලියාව සමඟ සිව්වැනි ටෙස්ට් තරගයේ දී සිය තෙවසරකට ආසන්න ශතක හිඟයට තිත තැබූ Virat Kohli විසින් ටෙස්ට් පිතිකරුවන් අතර 13 වැනි ස්ථානයට පැමිණීමට සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වූ Daryl Mitchell ශ්‍රේණිගත කිරීම් හී 8 වැනි ස්ථානය තෙක් ඉදිරියට ඒමට සමත් වී තිබෙනවා.

එමෙන්ම නිමා වූ තරගවල දී දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියාවේ Usman Khawaja, Travis Head සහ Marnus Labuschagne ද මෙම ශ්‍රේණිගත කිරීම් හී මුල් දස දෙනා අතර රැඳී සිටීමට සමත්ව තිබෙනවා.

ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව කොතැන ද?

ඊයේ දිනයෙන් යාවත්කාලීන වූ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේ ප්‍රභාත් ජයසූරියයි. නවසීලන්තයට එරෙහිව පළමු තරගයේ දී කඩුලු 3ක් බිඳ හෙළු ප්‍රභාත් ස්ථාන හතරක් ඉදිරියට එමින් 31 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර, එම තරගයේ දී අවසන් මොහොත තෙක් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අසිත ප්‍රනාන්දු ස්ථාන 13ක් ඉදිරියට එමින් ශ්‍රේණිගත කිරීම්වල 43 වැනි ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම මෙතෙක් කල් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ හී මුල් දස දෙනා අතර රැඳී සිටි දිමුත් කරුණාරත්න දැන් 12 වැනි ස්ථානය තෙක් පහළ බැස ඇති අතර (නිමා වූ ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමෙන් පසුවත්) නවසීලන්තයට එරෙහිව විශිෂ්ට ශතකයක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන තුනක් ඉදිරියට එමින් ශ්‍රේණිගත කිරීම්වල 17 වැනි ස්ථානය තෙක් පැමිණ තිබෙනවා. එමෙන්ම දිනේශ් චන්දිමාල් එහි 19 වැනි ස්ථානය ද, ධනංජය ද සිල්වා ශ්‍රේණිගත කිරීම්වල 36 වැනි ස්ථානයේ ද රැඳී සිටිනවා.

කෙසේ වෙතත් හෙටින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මෙම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල තවත් වෙනස්කම් ඇති වීමට ඉඩකඩ පවතින බව විශ්වාස කළ හැකියි.

එම යාවත්කාලීන වීම් පිළිබඳව ද සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<