කොළඹ ඉසිපතන සහ ආනන්ද මුල් ඉනිමේ ජයග්‍රහණ ලබති

340
U19 Schools Cricket

අද දිනයේ (18) නිමාවට පත්වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග අතුරින් කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කල අතර පැතුම් නිස්සංකගේ සහ කවිශ්ක අන්ජුලගේ ශතක දෙකත්, කෞමාල්ගේ සහ ලහිරුගේ දක්ෂ පන්දු යැවීමත් මෙම විද්‍යාල දෙකට ජයග්‍රහණ වාර්තා කරන්නට ප්‍රබල පිටුවහලක් සැපයීය.

පසුගිය ලිපි: නිස්සංක ශතකයෙන් ඉසිපතනය පෙරමුණ ගනියි

ඉසිපතන විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක වුනු මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුනත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. අද උදෑසන තරගය ආරම්භ කරන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 72ක් රැස් කරගෙන සිටි අතර අද එම ඉනිම ලකුණු 127කට සීමා කරන්නට ඉසිපතන පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අතරින් පෙරමුණ ගත් ලහිරු ඩිල්ශාන් බිඳ හෙලූ කඩුලු ගණන 5ක්.

දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉසිපතනය කඩුලු 3ක් දැවී ලකුණු 151ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර සන්ජුල අබේවික්‍රම ඉසිපතන ඉනිම ශක්තිමත් කරමින් නොදැවී ලකුණු 74ක් රැස් කරන ලදී. දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 4කට ලකුණු 129ක් රැස් කරගෙන සිටියහ.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 53.2) පැතුම් නිස්සංක 101, හේෂාන් ප්‍රනාන්දු 74, කවීෂ ජයතිලක 5/26, රෙෂාන් කවිෂ්ක 2/46, මහේෂ් තීක්ෂණ 2/56.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 3ක් දැවී ලකුණු 151 (පන්දුවාර 23) සංජුල අබේවික්‍රම 74*, පැතුම් නිස්සංක 42.

සාන්ත බෙනඩික් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 66.5) චමිඳු විජේසිංහ 28, කවීෂ ජයතිලක 27, ලහිරු ඩිල්ශාන් 5/27, සංජුල බණ්ඩාර 2/19.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 129 (පන්දුවාර 32) ඩිලාන් චතුරංග 32, ශනිල්ක නිර්මාල් 28, නෙරංජන්  වන්නිආරච්චි 2/25, මදුෂික සඳරුවන් 2/27.


වේල්ස් කුමර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර තරගය

මත්තේගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී අද උදෑසන දෙවැනි දිනයට තරගය ආරම්භ වනවිට ආනන්ද විද්‍යාලය සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබා සිටියහ. එය ලකුණු 309ක දැවැන්ත ලකුණු පුවරුවක් බවට පරිවර්තනය කරගන්නට ඔවුහු අද දහවල වනවිට සමත් වූහ. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් සුවිශිෂ්ට ඉනිමක නිරත වූ කවිශ්ක අන්ජුල ලකුණු 144ක් ලබාගත් අතර ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක ශම්මු අශාන් අර්ධ ශතකයක් වාර්තා කරන ලදී.

ආනන්ද ප්‍රථම ඉනිමට වඩා ලකුණු 111ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කල මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, තරගයේ නිමාව සටහන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 184ක් රැස් කරගෙන සිටියහ. වේල්ස් කුමර විදුහල වෙනුවෙන් සනෝජ් ධර්ශික (67) සහ ප්‍රින්ස් අලංක (52) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ. සමස්ථයක් වශයෙන් මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුවත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය කොළඹ ආනන්ද විද්‍යාලය සතු විය.

වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 198 (පන්දුවාර 53.2) ඩිලංක මදුරංක 67, විශ්ව චතුරංග 26, සුපුන් වරාගොඩ 4/20, අචිල ඉරංග 4/19.

ආනන්ද විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 309 (පන්දුවාර 78) කවිශ්ක අන්ජුල 144, ශම්මු අශාන් 57, දුෂාන් හෙට්ටිගේ 34, සහන් සුරවීර 31, කෞමාල් නානායක්කාර 6/63.

වේල්ස් කුමර විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 184 (පන්දුවාර 37.4) සනෝජ් ධර්ශික 67, ප්‍රින්ස් අලංක 52, කවිඳු කනේශ් 30, දිලීප ජයලත් 3/53.


අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිවූයේ ඇලෝසියස් විද්‍යාලයටයි. ඔවුන්ගේ ආරාධනයට අනුව මුලින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186ක් රැස් කලහ. එහිදී ලහිරු ලියනගේ අර්ධ ශතකයක් වාර්තා කල අතර ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවූ හරීන් වීරසිංහ අනුරාධපුර කඩුලු 6ක් දවාලමින් ඉනිම අඩපණ කරන්නට සමත් විය.

දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 91ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙන අශේන් බණ්ඩාර ලකුණු 32යි. තරගය හෙට අවසන් දිනයට ක්‍රියාත්මකයි.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (69.1) ලහිරු ලියනගේ 54, හේෂාන් සෙනිර 43, හරීන් වීරසිංහ 6/70, නිදුක මල්සිත් 3/24.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 2ක් දැවී 91 (පන්දුවාර 36) අශේන් බණ්ඩාර 32*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට