අවිශ්ක ප්‍රනාන්දුට අකරතැබ්බයක්

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

3569

සිම්බාබ්වේ තරගාවලිය සඳහා වන ජෛව ආරක්ෂිත බුබුලට (Bio bubble) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුලත් කිරීමට පෙර අද (8) දිනයේ දී සිදුකළ PCR ප්‍රතිඵල වලට අනුව, ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට කොවිඩ් 19 (Covid-19) වයිරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය අහිමිව යනවා. අවිශ්කව එලෙස කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසුව සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට අනුව ස්වයං නිරෝධායනයට යොමු කිරීමට වෛද්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එසේම කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ (7) ගැනීමත් සමඟම අවිශ්ක ප්‍රනාන්දු වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතය සඳහා කැඳවීමට වැඩි ඉඩක් තිබෙනවා.

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය හෙට (9) දිනයේ දී නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත අතර එම ක්‍රීඩකයින් අනිද්දා (10) දිනයේ සිට ජෛව ආරක්ෂිත බුබුලට ඇතුලත් වීමට නියමිතව සිටිනවා.

කිලෝමීටර දෙකක දුර ප්‍රමාණය මිනිත්තු 8කුත් තත්පර 10ක කාලයක් තුල සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය මැන බලන පරීක්ෂණය අද (8) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එහිදී ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් සියලුම දෙනා පාහේ එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී තිබෙන බවද තොරතුරු වාර්තා වෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය 2020-2023 ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් ලෙස පැවැත්වෙන අතර තරග සියල්ල දිවා/රාත්‍රි තරග ලෙස පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා පෙබරවාරි මුල් සතියේ දී ඕස්ට්‍රේලියාව බලා පිටව යාමට නියමිත අතර එම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා පැවැත්වෙනවා.

ඉන්පසුව පෙබරවාරි මාසය අවසානයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව බලා යාමට ද සූදානමින් සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

පළමු එක්දින තරගය – ජනවාරි 16

දෙවැනි එක්දින තරගය – ජනවාරි 18

තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

මේ තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<