ලෝක ශූරයන් සහ ආසියානු ශූරයන්ගේ අභියෝගය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය 2022

1107

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් සහ 2021 විස්සයි විස්ස ලෝක ශූරයන් ගැටෙන 2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය හෙට (25) Perth ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් සවස 4.30ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි තරගය වන මෙය ඕස්ට්‍රේලියාවේ ද දෙවැනි තරගයයි.

ඕස්ට්‍රේලියාව මෙම තරගයට සහභාගී වෙන්නේ 2021 වසරේ විස්සයි විස්ස ලෝක ශූරයන් වූ අභිමානයත් සහ සත්කාරකත්වයේ වාසිය ද රැගෙනයි. ඔවුන් 2010 වසරේ දී ද විස්සයි විස්ස ලෝක කුසලානයේ අනුශූරයන් ද වුනා.

නමුත් මෙවර ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයකට ලක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ මේ වන විට ඇත්තේ තමන්ගේ ඉදිරි ගමනේ සැලසුම් මෙතැන් සිට හෝ වඩාත් ශක්තිමත්ව ගෙන යෑම අරමුණු කරගනිමින් විය යුතුයි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහිව වඩාත් ශක්තිමත් ම කණ්ඩායම නම් කිරීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරනු නියතයි.

ශ්‍රී ලංකාව ද මෙම තරගයට සහභාගී වන්නේ 2022 අභිමානවත් ආසියානුවන් සහ ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2014 වසරේ ශූරයන් සහ 2009 සහ 2012 වසරවල අනුශූරයන් වූ අභිමානනීය අතීතයත් කරපින්නාගෙනයි.

ඊට අමතරව ලෝක කුසලාන සුපිරි වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී එම කාණ්ඩයේ පළමුවැනියා වෙමින් සහ සුපිරි 12 වටයේ මංගල තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමේත් අභිමානය ඔවුන් සතුයි.

  • ඕස්ට්‍රේලියානු සංචිතය: Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.
  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මධුශාන්, අශේන් බණ්ඩාර, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ

හෙට තරගයට සහභාගී වෙන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙතෙක් විස්සයි විස්ස තරග 25ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකාවට ජය ගත හැකි වන්නේ තරග 10ක් පමණයි. අනෙක් තරගය ලකුණු සම වීමෙන් අවසන් වෙනවා.

එම තොරතුරු එසේ ඕස්ට්‍රේලියාවට වාසි ගෙන දෙමින් නිමාව දකිද්දී ICC ශ්‍රේණිගත කිරීමේ දී ද ශ්‍රී ලංකාව සිටින්නේ ඕස්ට්‍රේලියාවට වඩා කඩුලු 2ක් පිටුපසින්. එහි ඕස්ට්‍රේලියාව 6 වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටින විට ශ්‍රී ලංකාවට හිමිවන්නේ 8 වැනි ස්ථානයයි.

ඕස්ට්‍රේලියාව

දක්ෂ පිතිකරුවන්, පන්දු යවන්නන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් රාශියකගෙන් සමන්විත ඕස්ට්‍රේලියාව මනාව සංකලනය වූ කණ්ඩායමක් ලෙසයි විචාරකයන්ගේ පිළිගැනීම. ඔවුන්ගේ පිතිකරු බලඇණිය ද පන්දු යැවීමේ බලඇණිය ද එකසේ එකිනෙකා නොපරදින ලෙසින් තම දක්ෂතා කරළියේ විදහා පෑමයි මේ පිළිගැනීමට හේතු වන්නේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපුරුදු පරිදි මෙවරත් නායකත්වය හිමි වෙන්නේ 35 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු Aaron Finch වෙතයි. Finch විස්සයි විස්ස තරග ඉතිහාසයේ තරග 101කට සහභාගී වෙමින් ලකුණු 3026ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියා පිතිකරු ලැයිස්තුවේ ලෝකෙට ලොක්කා ලෙසින් වැජඹෙනවා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර පළමුවැනියටත්, දෙවැනියටත් සිටින්නේ ඔහුයි. ඒ සිම්බාබ්වේට එරෙහිව ලකුණු 172ක් සහ එංගලන්තයට එරෙහිව ලකුණු 156ක් වාර්තා කරමිනුයි.

Finch මෙතෙක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග 74කට නායකත්වය දී ඉන් තරග 38ක් ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් වෙනවා. පරාජිත තරග සංඛ්‍යාව 32ක් වන අතර ලකුණු සම වීමෙන් තරගයක් සහ නොවිසඳුණ තරග 3ක් ඒ අතර තිබෙනවා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය දී තිබෙන්නේ ද Finch.

ඔහුගේ වඩාත් විශ්වසනීය පිතිකරු වන්නේ තමන් සමඟ අනෙක් අන්තයෙන් ඉනිම ආරම්භ කරන, වත්මන් විස්සයි විස්ස පිටියේ අත්දැකීම් බහුලතම පිතිකරුවෙක් ලෙසින් ද හැඳින්වෙන David Warner. ඔහු මේ දක්වා තරග 96ක දී ලකුණු 2855ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියා පිතිකරු ලැයිස්තුවේ දෙවැනියා වී සිටිනවා.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ ආරම්භක පිතිකරු සුසංයෝගයේ අභියෝගය සුළුවෙන් තැකිය හැකි නැහැ.

ඕස්ට්‍රේලියාවේ අනෙක් හිසරදකාර පිතිකරු වන්නේ Glenn Maxwell. ඕස්ට්‍රේලියා පිතිකරු ලැයිස්තුවේ තෙවැනියා වන ඔහු මේ දක්වා තරග 95ක දී ලකුණු 2069ක් රැස්කරගෙන සිටින්නේ ශතක වැඩිම 3ක් සමඟින්. ඒ ශ්‍රී ලංකාවට, ඉන්දියාවට සහ එංගලන්තයට එරෙහිවයි. එරට වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වැඩිම ශතක ලැබූ පිතිකරු වන්නේ ද Maxwell.

ඕස්ට්‍රේලියා පිතිකරු ලැයිස්තුවේ විශ්වසනීයත්වය එසේ පෙළ ගැසෙද්දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ බලඇණිය ද ඒ ලෙසින් ම දක්ෂතා සපිරි පන්දු යන්නන්ගෙන් සපිරියි.

පා දඟපන්දු යවන 30 හැවිරිදි Adam Zampa කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ම පන්දු යවන්නා වන අතර ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද ඔහු. දක්ෂතාව තරග 70ක දී කඩුලු 78ක්.

ඔහුට අමතර ව මෙතෙක් විස්සයි විස්ස පිටියේ කඩුලු 70ක් ලබා සිටින වමතින් වේගපන්දු යවන Mitchell Starc, කඩුලු 55ක් ලබා සිටින දකුණතින් වේගපන්දු යවන Josh Hazlewood සහ කඩුලු 52ක් ලබා ගෙන සිටින දකුණතින් වේගපන්දු යවන Pat Cummins ශ්‍රී ලාංකිකයන් මෙල්ල කිරීමට කැඳවෙන ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් ලෙස හැදින්විය හැකියි.

ශ්‍රී ලංකාවට එරෙහිව සහභාගී වෙතැයි අනුමාන ඕස්ට්‍රේලියා කණ්ඩායම: David Warner, Aaron Finch (නායක), Mitchell Marsh, Glenn Maxwell, Marcus Stoinis, Tim David, Matthew Wade (කඩුලු රකින්නා), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood.

ශ්‍රී ලංකාව

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරු වී සිටින පැතුම් නිස්සංක මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පා ආවරණ පලඳිනු ඇතැයි සෑම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලියෙක්ගේ  ම බලාපොරොත්තුවයි. මේ සටහන තැබෙන අවස්ථාව වන විට පැතුම් සම්බන්ධයෙන් එවැන්නක් එරටින් ආරංචි නොවූව ද පෙර කී කතා අනුව මෙම තරගයේ දී පැතුම් නැවත කණ්ඩායමට කැඳවනු ඇතැයි විශ්වාස කළ හැකියි.

ඒ අනුව, සුපිරි රිද්මයට පිවිසෙමින් ආරම්භක පිතිකරුවෙක්ගේ භූමිකාව නිසි ලෙස ඉටු කරමින් සිටින කුසල් මෙන්ඩිස් සමඟ පැතුම්, හෙට තරගයේ දී නැවත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට එක් වෙනු ඇතැයි යන අනුමානයේ අප සිටිමු.

කුසල් මෙන්ඩිස් මේ දක්වා තරග 4කට සහභාගී වෙමින් ලකුණු 171ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ලෙසින් වැජඹෙනවා. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය ලෙසින් දැක්වෙන්නේ 57.00ක සාමාන්‍යයක්.

පෙර තරගයේ දී ආරම්භක පිතිකරුගේ භූමිකාවට පිවිසි ධනංජය ද සිල්වා මෙන් ම වඩාත් ආරක්ෂාකාරී වෙමින් සාර්ථක පිතිහරඹයක් කරා ගිය චරිත් අසලංක ද නැවත තම තමන්ට හිමි සුපුරුදු ස්ථානවලින් පිටියට පිවිසීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.

ඒ අනුව පෙර තරගයේ දී පැතුම් වෙනුවට කණ්ඩායමට එක් කළ අශේන් බණ්ඩාර තව දුරටත් කණ්ඩායමේ රඳවා ගැනීම ගැන සිතීමට ක්‍රිකට් තේරීම් කමිටුවට සිදු වෙනවා. ඒ අශේන් කණ්ඩායමට එක් කර ගන්නේ නම් ඒ සඳහා ඉවත් කළ යුත්තේ කවුරුන් ද යන්න ගැනයි. කෙසේ වෙතත් දැනට කණ්ඩායමේ සංයුතිය අනුව මෙම තරගයේ දී නැවත අශේන්ට ස්ථානයක් හිමි නොවනු ඇතැයි සිතිය හැකියි.

පිතිකරුවන් පෙළ ගැස්වීමේ දී භානුක රාජපක්ෂ, දසුන් ශානක සහ වනිඳු හසරංග ට ද පිටියට පිවිසීමට අවස්ථාවක් ලදොත් කළ හැකි බොහෝ දේ වෙන අතර චාමික කරුණාරත්නට ද අවස්ථාවක් ලදොත් තම උනන්දුව සහ උද්යෝගය නැවත නැවතත් දැක්විය හැකියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ගමනේ පෙර ගමන්කරුවන් ලෙසින් මේ වන විට ගෞරවය දිනා සිටින්නේ දඟපන්දු යවන්නන්. එය වඩාත් නිවැරදි කරමින් මෙවර ලෝක කුසලානයේ පන්දු යවන්නන් අතරින් දැනට වැඩිම කඩුලු ලාභියා ලෙසින් පෙරමුණ ගැනීමට වනිඳු හසරංග සමත් වෙනවා. ඔහු  නිමා වූ තරග 4 දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 9ක්.

ඔහු මෙන් ම මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය මහීෂ් තීක්ෂණ දිනා ගන්නේ කඩුලු 7ක් ලබා ගනිමින්. ඔවුන් දෙදෙනාගේ එම දක්ෂතා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නා ලද අමතර වාසියක් වන අතර මේ හේතුව නිසා ම ප්‍රතිවාදීන් ඔවුන් දෙදෙනා ව වඩ වඩාත් අධීක්ෂණය කරනු නියතයි. එබැවින් ඔවුන් වඩාත් අරපරිස්සමින් පාවිච්චි කිරීම දසුන්ගේ වගකීමක් වනවා.

වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායම හා එක් ව සිටින බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර ද තරගය පාලනය කිරීමේ දී දක්වන දායකත්වය අගය කළ යුතුයි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව සහභාගී වෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක) වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු

Perth ක්‍රීඩාංගණය

හෙට තරගයට පැවැත්වෙන බටහිර ඕස්ට්‍රේලියාවේ, Perth ක්‍රීඩාංගණයේ මේ දක්වා පවත්වා ඇත්තේ ටෙස්ට් තරග 2ක්, එක්දින ජාත්‍යන්තර තරග 2ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් පමණයි.

විස්සයි විස්ස තරගවල ආරම්භය 2019 වසර දක්වා වූ ඈතට කැඳවෙන අතර අනතුරුව විස්සයි විස්ස තරගයක් පැවැත්වෙන්නේ මේ වසරේ ඔක්තෝබරයේ සංචාරක එංගලන්තය කණ්ඩායම වෙනුවෙනුයි. අනතුරුව ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත සහ ඇෆ්ගනිස්තාන තරගය වෙනුවෙන් ද මෙම ක්‍රීඩාංගණය විවෘත වෙනවා.

මේ තරග අතරින් ඕස්ට්‍රේලියාව තරග 2කට සහභාගී වී ඇති අතර ඉන් ආරම්භක තරගයෙන් පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණය කිරීමට සමත් වෙද්දී එංගලන්තය හමුවේ ඔවුන් පරාජයට පත් වෙනවා.

ක්‍රීඩාංගණයේ තණතිල්ල හැසිරෙන ආකාරයට කාසියේ වාසිය දිනා ගන්නේ නම් පළමුවෙන් පන්දු යැවීම සුදුසු බවයි පැවසෙන්නේ.

කාලගුණ තත්ත්වය

පෙර දිනයේ (23) පැවති තරගවලට වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවට, ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට ම පැවසුණ ද, එම තරග දෙක  කිසිදු උපද්‍රවයකින් තොරව නිමා වූ බැවින් එරට කාලගුණ අනාවැකි ගැන ද නැවත නැවතත් සිතීමට සිදුවෙන තත්ත්වයකි පවතින්නේ.

කෙසේ වෙතත් හෙට තරගය පැවතෙන බටහිර ඕස්ට්‍රේලියාවේ, Perth ක්‍රීඩාංගණය අවට තත්ත්වය ඉර එළියෙන් සපිරි ක්‍රීඩාවට සුදුසු කාලගුණ තත්ත්වයක් පවතින බවයි පැවසෙන්නේ.

අපේක්ෂාව: තියුණු තරගයක්

ක්‍රීඩාංගණ තත්ත්වයන් සහ කාලගුණ තත්ත්වයන් කෙසේ වෙතත් දෙරටේ කණ්ඩායම් කුමන සංයුතියකින් යුක්තව පිටියට පිවිසියත් ඔවුනොවුන් පිටියේ දී තම තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් උපරිම දක්ෂතාවන් මුදා හරිනු ඇත. ඊට ලෝක ශූරයන් ද ආසියානු ශූරයන් ද යන්න අදාළ නොවේ.

ඒ කුමන තත්ත්වයක් යටතේ වූව ද මෙවර ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ සුවිශේෂී පිළිගැනීමක්. ඒ පිළිගැනීමේ දී ශ්‍රී ලංකාවට ඉහළ පෙළේ හෝ අඩුම තරමින් මධ්‍යස්ථ පිළිගැනීමක් හෝ ලබා දීමට සුදු ජාතික ක්‍රිකට් විචාරකයෝ කිසිදු තැනක දී මුඛ විවර කර නැහැ.

එබැවින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට, ප්‍රබල යැයි කියන ඕස්ට්‍රේලියානුවන්ට අමතර ව සුදු ජාතික විචාරකයන්ට ද එරෙහි ව තරග කිරීමට සිදු වනු ඇත.

එය අපහසුවක් නොවනු ඇති බවයි අපගේ විශ්වාසය.

විස්සයි විස්ස ලෝක කුසලානයේ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<