ICC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ව අලුත් වැඩක් එළිදක්වයි

1660

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සිදු කරනු ලබන ගෝලීය පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් පසුගිය දා දියත් කෙරිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වෙමින් සිදු කරන ලද මෙම පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන, පුහුණුකරුවකු වීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්ට අවශ්‍ය මූලික දැනුම කැටිකොට සකස් කරන ලද්දකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශ හරහා සිදු කරන ලද මෙම වැඩසටහන, තාක්ෂණය ඔස්සේ දැනුම අලුත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් වර්තමාන පුහුණුකරණයේ නියුතු පුහුණුකරුවන්ට ද මහඟු අත්වැළක් සපයනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ පූර්ණ වශයෙන් බෙදා හරිනු ලබන මෙම පුහුණු පාඨමාලාව (ICC Foundation Course) යටතේ ක්‍රීඩක ආරක්ෂාව, ක්‍රීඩකයින් එකමුතුව තබා ගැනීම, ක්‍රීඩක දක්ෂතා හඳුනා ගැනීම සහ පුහුණුකරුවාගේ භූමිකාව යන ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ මූලික කරුණු කෙරෙහි අවධානය යොමු වන සේ නිර්මාණය කර තිබේ.

වර්තමාන ජීවන රටාවේ කාලය වෙන් කර ගැනීම ද අසීරු කරුණක් වුවද මෙම නවතම ක්‍රමවේදය හරහා පුහුණුකරුවන්ට තමන්ට රිසි කාලවේලාවන්හිදී අධ්‍යාපන දැනුම වැඩිකර ගැනීමේ අවස්ථාව ද උදා වනු ඇත.

අලුතින්ම දියත් කරන ලද මෙම වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන ප්‍රධානී ටිම් මැක්කස්කිල් මහතා, “මෙය ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ වන පුහුණු අධ්‍යාපන ඒකකයේ විශිෂ්ට නිර්මාණයක්. ඔවුන් පුහුණුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාකාරකම් රටේ සියලුම අපේක්ෂිත පුහුණුකරුවන්ට සම්බන්ධ කරගත හැකි වේදිකාවක් නිර්මාණය කර තිබෙනවා. මෙහි වැදගත්ම කොටස වන්නේ පුහුණුකරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කැමැති භාෂාවෙන් ඉගෙනීමට හැකියාව ලැබීමයි”, යනුවෙන් අදහස් දක්වා සිටියා.

ඉංග්‍රිසි මාධ්‍යයට අමතරව සිංහල සහ දමිල භාෂාවන් වලින් මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව පුහුණුකරුවන්ට උදා වී තිබේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඵලදායී පුහුණුවක් සහ විනෝදජනක ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කරගන්නා ආකාරය ද මේ හරහා පුහුණුකරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව උදා වීමයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා, “ස්වෙච්ඡාවෙන් ක්‍රිකට් පුහුණුකරණයේ යෙදී සිටින රට පුරා වූ පුහුණුකරුවන්ට පුහුණුකරණය පිළිබඳව වැඩි පුර අවබෝධයක් ලබා දීම සඳහා යන ඉලක්ක ගත වැඩපිළිවෙළේ සැලකිය යුතු පියවරක් ලෙසින් මෙම පාඨමාලාව හඳුන්වන්න පුළුවන්. මේ හරහා පාසල් මට්ටමේ ක්‍රිකට් වැඩසටහන් නැවත නැවත දියත් කිරීම සඳහා අපගේ පුහුණුකරුවන්ගේ ජාලය ශක්තිමත් කිරීමට අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු මට්ටමේ (Level i) පුහුණු පාඨමාලාවට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් පසුවන නවක පුහුණුකරුවන්ට ද ඒ සඳහා ප්‍රවේශ වීමේ සුදුසුකමක් ලෙසින් මෙම අධ්‍යාපන පුහුණු වැඩසටහන යොදා ගන්න පුළුවන්”, යනුවෙන් අදහස් දක්වා සිටියා.

“නව පුහුණු කිරීමේ ක්‍රමවේදය සහ එහි අන්තර්ගතය මුදා හැරීමේදී ICCයේ ඩිජිටල් සම්පත් භාවිතය (අධ්‍යාපන මෘදුකාංගය) අපිට අපූරු අත්දැකීමක් ගෙන දෙන්නක් වුනා. ඇත්තටම මේ හරහා අපගේ පිට පළාත්වල පුහුණුකරුවන්ට අන්තර්ජාලය භාවිතය හරහා පුහුණුකරණය පිළිබඳව විශාල දැනුමක් සහ ශක්තියක් ලබා ගැනීමට හැකි වෙනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී තාරක සමරතුංග මහතා සඳහන් කර සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<