ශූරතාවය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

369

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන ලද Leaders Trophy දස සාමාජික රග්බි තරගාවලිය ඊයේ (04) නිමාවට පත් වූ අතර මෙම තරගාවලිය ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය ඇතුළු කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පවත්වන ලදී.

පසුගිය ලිපි: ආසියානු යොවුන් රග්බි ක්‍රීඩකයන්ගේ කල එලි බැස්ම

තරගාවලියේ මුලික වටය A  හා B ලෙස කාණ්ඩ 2ක් යටතේ පැවති අතර එහිදී A කාණ්ඩයෙන් KDU – A, කැලණිය විශ්ව විද්‍යාල, ජ’පුර විශ්ව විද්‍යාල B හා යුධ හමුදා විද්‍යා පීඨ B යන කණ්ඩායම් තරග වැදුනු අතර B කාණ්ඩයෙන් යුද හමුදා විද්‍යා පීඨ A, ජ’පුර විශ්ව විද්‍යාල A, CINEC Maritime Campus හා KDU B යන කණ්ඩායම් තරග වැදුනි.

මූලික වටයේ තරග වලින් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැති අතර එහිදී කුසලාන ශූරතා අවසන් පූර්ව වටයට KDU – A, යුද හමුදා විද්‍යා පීඨ -A , ජ’පුර විශ්ව විද්‍යාල – A  හා කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම් සුදුසුකම් ලබා ගත් අතර අවසන් පූර්ව තරගය ජයගත් KDU – A  හා ජ’පුර විශ්ව විද්‍යාල – A කණ්ඩායම් කුසලාන අවසන් තරගයටත්, පරාජය වූ යුද හමුදා විද්‍යා පීඨ – A හා කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම් පළඟ අවසන් තරගය සඳහාත් සුදුසුකම් ලබා ගන්නා ලදි.

ඊට අමතරව බඳුන ශූරතාවය සඳහා KDU – B කණ්ඩායම හා CINEC කණ්ඩායම සුදුසුකම් ලද අතර නියමිත කාලය අවසානයේදී CINEC කණ්ඩායම ගෝල 07 : 05ක් වශයෙන් KDU – B කණ්ඩායම පරාජය කරමින් බඳුන ශුරතාවය දිනාගන්නා ලදී. මෙහිදී CINEC කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම I. A. රංගක විසින් වාර්තා කරන ලදී.

ඉන් අනතුරුව පළඟ ශූරතා අවසන් තරඟය යුධ හමුදා විද්‍යා පීඨ – A  කණ්ඩායම  හා කැළණිය විශ්ව විද්‍යාල කණ්ඩායම අතර  පැවැත්විය. එම තරගය ආරම්භයේ සිටම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් අතර තරඟ  කාලය අවසානයේදී යුද හමුදා විද්‍යා පීඨ කණ්ඩායම විසින් ගෝල 12 : 05ක් ලෙස කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායම පරාජය කරමින් පළඟ ශූරතාවය දිනා ගන්න ලදී. කැළණිය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම H. D. වානගුරුගේ  විසින් වාර්තාකරණ ලදී.

කුසලාන ශූරතා අවසන් තරඟය KDU – A  කණ්ඩායම හා ජ’පුර විශ්ව විද්‍යාල – A කණ්ඩායම අතර පැවැත්විය. එම තරගයත් ආරම්භයේ සිටම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් නමුත් ආරම්භයේ සිටම KDU ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටින ආකාරයක් දක්නට ලැබුනි. ඔවුන් විසින් ජ’පුර ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් නොදෙමින් ඉතාමත් උපක්‍රමශීලීව තරග වදිනු දක්නට ලැබුණි. තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි KDU – A කණ්ඩායම නියමිත කාලය අවසානයේදී  ගෝල 24 : 00ක් වශයෙන් ජ’පුර කණ්ඩායම අභිබවා 2016 Leaders Trophy දස සාමාජික රග්බි තරගාවලියේ කුසලානය දිනාගන්න ලදී.

තරගාවලියේ  ජය සංකේත හා සහතික පත්‍ර ප්‍රදානය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මේජර් ජෙනරාල් J. R. කුලතුංග මහතා සහභාගී විය.

  • කුසලාන අවසන් තරගය : KDU (A )  24 – 0 ශ්‍රී ජයවර්ධනපුර (A )
  • පලඟ අවසන් තරඟය : ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය 12 – 05 කැලණිය විශ්ව විද්‍යාල (A )
  • බදුන අවසන් තරඟය : CINEC 07 – 05  KDU (B)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට