චමීරගේ දස්කම් අපතේ යවමින් Gujarat Titans පෙරට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

652

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට Gujarat Titans ඊයේ (28) සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත්වූයේ Lucknow Super Giants කණ්ඩායමයි.

මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දුෂ්මන්ත චමීර ඇතුළු Lucknow Super Giants කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි KL Rahulගේ නායකත්වයෙන් යුත් Lucknow කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබාගෙනයි. ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 29ක්ව තිබිය දී බිඳ වැටුණු පසුබිමක Deepak Hooda 55 (41) සහ Ayush Badoni 54 (41) අර්ධ ශතක ලබාගෙන ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 68ක දී අගනා ලකුණු 87ක සබඳතාවයක් ගොඩනංවමින්.

පන්දු යැවීමේ දී Mohammed Shami ලකුණු 25කට කඩුලු 3ක් දවා ගන්නා විට, Varun Aaron ලකුණු 45කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gujarat Titans ඉනිම නිමා වීමට තවත් පන්දු 2ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

IPL මංගල තරගයට ක්‍රීඩා කළ චමීර ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ දී ම Shubman Gill ලකුණු නොලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට චමීර සමත් වුනා. ඉන් අනතුරුව Vijay Shankar ලකුණු 4කට දැවී ගියේ ද දුෂ්මන්ත චමීර යොමු කළ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි.

අනතුරුව නායක Hardik Pandya ලකුණු 33ක් (28) ද, කඩුලු රකින ආරම්භක පිතිකරු Matthew Wade ලකුණු 30ක් (29) ද රැස් කරමින් Gujarat Titans නැවත වරක් තරගයට අවතීර්ණ කළා.

David Miller ලකුණු 30 (21)යි. Rahul Tewatia පන්දු 24කින් නොදැවී ලකුණු 40*ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34කින් වේගවත් ලකුණු 60ක සබදතාවයක් ගොඩනැංවුණු අතර Abhinav Manohar පන්දු 7ක දී නොදැවී ලකුණු 15*ක් ලබා ගත්තා.

එහි දී චමීර සිය නියමිත පන්දුවාර 4න් පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර KL Rahulගේ පන්දුවාර කළමනාකරණ පිළිබඳව බොහෝ ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍ය ජාලා තුල ඔවුන්ගේ අප්‍රසාදය පළ ක‍ර තිබුණා. ඊට අමතරව Avesh Khan, Krunal Pandya සහ Deepak Hooda එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

Lucknow Super Giants – 158/6 (20): Deepak Hooda 55, Ayush Badoni 54, Krunal Pandya 21, Mohammed Shami 3/25, Varun Aaron 2/45.

Gujarat Titans – 161/5 (19.4): Rahul Tewatia 40*, Hardik Pandya 33, David Miller 30, Matthew Wade 30, Dushmantha Chameera 2/22.

තරගයේ වීරයා – Mohammed Shami

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<