2021ට අලුත් වෙන ICC නීති

414

2021 වසර සඳහා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති කීපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ (01) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

පසුගිය කාලය තුල දැඩි මතභේදයට තුඩු දුන් Umpires Call අවස්ථාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එහි දී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම Umpires Call නීතිය වෙනස් නොකිරීමට ඔවුන් තීරණය කළා. ඒ වෙනුවට මීට පෙර පැවති Umpires Call අවස්ථාවට අදාළ නීතිවල සුළු වෙනස්කම් කීපයක් සිදු කර තිබෙනවා. 

පසුගිය සතියේ දී නිමා වූ ඉන්දීය එංගලන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වූ සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් ඉන්දීය නායක Virat Kohli සිය අප්‍රසාදය පලකිරීම මෙම Umpires Call නීතිය පිළිබඳව කතාබහක් ඇති කිරීමට හේතුවී තිබුණා. 

ඉන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ අතර Umpires Call නීතිය වෙනස් කළ යුතු දැයි සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත්කෙරුණා. ඒ හිටපු ඉන්දීය නායකයෙකු වන Anil Kumbleගේ ප්‍රධානත්වයෙන්.

එම කමිටුව විසින් සකසන ලද වාර්තාව පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත ලබා දී තිබුණා. එම වාර්තාව ලබා දෙමින් Anil Kumble පවසා සිටියේ Umpires Call නීතිය වෙනස් කළ යුතු යැයි තම කමිටුව නිර්දේශ නොකරන බවයි. 

“අපේ කමිටුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපි ඒ සඳහා ගොඩක් අය සම්බන්ධ කරගත්තා. අපි මේ නීතිය ගැන ගැඹුරින් විශ්ලේෂණය කරලා තියෙන්නේ. මේ DRS ක්‍රමය ක්‍රිකට්වලට හඳුන්වා දුන්නේ මූලික වශයෙන් විනිසුරුවන්ගෙන් සිදු වන අත්වැරැදීම් මඟහරවා ගන්න. ඒ වගේම ඒකෙ දී තරගයක් තුල තීරණ ගන්න පුද්ගලයා (Decision Maker) විදිහට විනිසුරුවන්ට තියන බලය අපි රඳවා ගන්න ඕනේ. Umpires Call නීතියෙන් ඒක තහවුරු වෙනවා.” 

පසුගිය දා නිමා වූ ඉන්දීය එංගලන්ත ක්‍රිකට් තරගාවලිය අවසන් වූ පසු ඉන්දීය නායක Virat Kohli පවසා සිටියේ Umpires Call නීතිය වෙනස් විය යුතු බවයි. පන්දුව කඩුල්ලේ කුමන ප්‍රමාණයක් ස්පර්ශ වුව ද ක්‍රීඩකයා දැවී යා යුතු බව ඔහු පවසා සිටියා. 

වෙනස් වන Umpires Call නීතිය 

පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ මත Umpires Call නීතිය සම්බන්ධයෙන් වෙනස්කම් කීපයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව කඩුල්ල මුවා කිරීම සම්බන්ධයෙන් වන දැවී යාම්වල උස සම්බන්ධයෙන් වන නීතිය වෙනස් කර තිබෙනවා. එහි දී මීට පෙර කඩුල්ලේ උස ලෙස සැලකූ bails හි පහළ මට්ටම වෙනුවට එහි ඉහල මට්ටම යොදාගැනීමට තීරණය කර තිබෙනවා. 

ඊට අමතරව පිතිකරුවෙකු දැවී ගිය ලෙස තීරණය කිරීමෙන් අනතුරුව පිතිකරුවා DRS අවස්ථාවක් ගැනීමට පෙර තම පිත්ත පන්දුවේ වැදුනේ දැයි විනිසුරුවරයාගෙන් විමසීමට හැකියාව ලබා දී තිබෙනවා.

නව සංශෝධන සමඟින් වෙනස් වූ Umpires Call නීතිය (Image Courtesy – ESPNCRICINFO)

තවත් ක්‍රිකට් පුවත් කියවන්න 

COVID-19 නීති තවදුරටත් 

මීට අමතරව වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව වෙත හඳුන්වා දී ඇති සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන මෙම වසරේ දීත් එලෙසම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ක්‍රිකට් තරගාවලි සඳහා විනිසුරුවන් එක් කරගැනීමේ දී සත්කාරකත්වය දරන රටේ විනිසුරුවන් යොදාගත යුතු වනවා. 

මීට අමතරව පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීම තවදුරටත් තහනම් වනවා.

“කමිටුව විසින් නිරීක්ෂණය කළා පසුගිය මාස 9ක කාලය තුල සත්කාරකත්වය දරන රටවල විනිසුරුවන් ඉතාමත් හොඳ මට්ටමක සිටින බව. ඒ නිසා අපි තීරණය කළා ඔවුන් සේවය දිගටම ලබාගන්න. ඒ වගේම යම් තරගයක් සඳහා ස්වාධීන විනිසුරුවන් අවශ්‍ය නම් ඔවුන්ට ඒ සඳහා අවසර හිමි වෙනවා” ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල ප්‍රකාශකයෙකු පවසා සිටියා.

මෙලෙස සත්කාරක රටේම විනිසුරුවන් යොදාගැනීම නිසා සිදු විය හැකි අත්වැරදීම් වළක්වා ගැනීම සඳහා කණ්ඩායම්වලට අතිරේක DRS අවස්ථාවක් ද හිමිවනවා.

අතිරේක ක්‍රීඩකයන් යොදාගැනීමත් නොවෙනස්

ක්‍රිකට් තරගයක් අතරතුර අතිරේක ක්‍රීඩකයන් යොදාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අවස්ථාවන් දෙකක් නම් කර තිබෙනවා. ඒ යම් ක්‍රීඩකයෙකුගේ හිසට සිදුවන අනතුරකින් පසුව එම ක්‍රීඩකයාට ක්‍රීඩා කල නොහැකි නම් සහ යම් ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වන අවස්ථාවකදීයි.

එම නීති තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ESPNCRICINFO සහ Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<