ප්‍රබල ක්‍රීඩකයෙකු IPL තරගාවලිය මඟහරී!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

193

සුපිරි ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marsh තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිය සහභාගීත්වය තහවුරු කොට තිබූ නමුත් එම තීරණය නැවත හකුළා ගැනීමට කටයුතු කොට තිබේ.

නව සාමාන්‍ය තත්වයන්ට අනුගත වෙමින් දිගු කලක් ජෛව-ආරක්ෂක බුබුළු තුල කාලය ගත කිරීමට සිදුවීම ඉතාමත් වෙහෙසකර අත්දැකීමක් වන නිසාවෙන් කායිකව මෙන්ම මානසිකව ද ශක්තිමත්ව සිටීම සියලුම ක්‍රීඩකයින් ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වන බව Mitchell March තම තීරණයට හේතුපාදක වූ කරුණු කාරණා පැහැදිලි කරමින් BCCIය වෙත යැවූ ලිපියේ සඳහන් වේ.

එංගලන්ත-ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය අතරතුර දී සාර්ථක වූ එංගලන්ත ආරම්භක පිතිකරු Jason Roy හට Sunrises කණ්ඩායමේ දොරටු විවෘත කිරීමට ඒ අනුව කණ්ඩායම් කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

තවත් ක්‍රිකට් පුවත් :

නිමාව දුටු IPL 2020 තරග වාරයේ දී ද වැඩි තරග සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දීමේ අවස්ථාව Mitchell Marsh හට මඟහැරී ගිය නමුත්  Sunrises Hyderabad කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුගේ තුන් ඉරියව් දක්ෂතාවන් කෙරෙහි විශ්වාසය තබමින් යලි කණ්ඩායම වෙත එකතුකොට ගනු ලැබුවේ ඉන්දීය කෝටි 2කට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය කරමිනි.

ඉකුත් වසරේ දී ඩුබායි හී පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් Sunrises කණ්ඩායමේ ලීග් වටයේ පළමු තරගයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව Mitchell Marsh හට උදා නොවීය.  ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ තුන් ඉරියව් භූමිකාව රඟ දැක්වීම කාර්‍යභාර්‍ය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායක Jason Holder හට පැවරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණයකොට තිබුණි.

අවසන් වරට දියත් කළ Big Bash තරගාවලියේ දී ද Perth Scorchers කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කළ Marsh ඉන් අනතුරුව ජාතික කණ්ඩායමේ සේවයට වාර්තා කළේ නවසීලන්තයට එරෙහිව පැවති සීමිත පන්දුවාර තරගාවලිය සඳහා ද ක්‍රීඩා කරමිනි.

Sunrises Hyderabad කණ්ඩායම නියෝජනය කිරීමට පෙරාතුව Deccan Chargers සහ Pune Warriors යන කණ්ඩායම් නියෝජනය කරමින් IPL තරග අත්දැකීම් ලබා ඇති Marsh මේ වන විට IPL තරග 21කට සහභාගී වෙමින් සිය ක්‍රීඩා කෞෂල්‍යය විදහා දැක්වීමට සමත්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<