Kohli ස්ථානය රැක ගනිද්දී, සඳකැන් මුල් 10 දෙනා අතරට

467

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඉන්දීය නායක Virat Kohli හට හිමිව තිබෙනවා.

එමෙන්ම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ඉහළින් සිටි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah හට නවතම ශ්‍රේණිගත කිරීමට අනුව හතරවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව තිබෙනවා.

නිමා වුන ඉන්දීය එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දී Bumrah විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කිරීම නිසාවෙන් ඔහුට මෙලෙස පසුබෑමට සිදුව ඇත. ඔහුට හිමි සමස්ත ප්‍රසාද ලකුණු ගණන 690ක්.

එමෙන්ම එම තරගාවලියේ දී Kohli විසින් පළමු එක්දින තරගයේ දී ලකුණු 56ක් සහ දෙවැනි එක්දින තරගයේ ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වීම නිසාවෙන් මෙවර ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රසාද ලකුණු 870ක් ලබා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය පාකිස්තාන ක්‍රීඩක Babar Azam හට හිමිව ඇති අතර සිය ක්‍රීඩා දිවියේම ඉහළම ශ්‍රේණිගත කිරීම ලබා ගත් ඉන්දීය ක්‍රීඩක Rohit Sharma තෙවැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙවර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය නවසීලන්ත ක්‍රීඩක Trent Boult හට හිමිව ඇති අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් Mujeeb Ur Rahman සහ Matt Henry හට හිමිව තිබෙනවා.

එමෙන්ම නිමා වුන ඉන්දීය – එංගලන්ත තරගාවලියේ දී පන්දු යැවීමෙන් ඉහළ දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩක Bhuvneshwar Kumar එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථාන දක්වාත්, Shardul Thakur 80 වැනි ස්ථානය දක්වාත් ඉහළට පැමිණ තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්: 

එමෙන්ම එම තරගාවලිය තුළ දස්කම් දැක්වූ Jonny Bairstow එක්දින පිතිකරුවන් අතර හත්වැනි ස්ථානයේ රැඳී සිටිමින් සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙන අතර Ben Stokes 24 වැනි ස්ථානය දක්වාත්, Moeen Ali 46 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙවර පන්දුවාර විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය Dawid Malan හට හිමිව ඇති අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන Aaron Finch සහ Babar Azam විසින් දිනා ගෙන තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ දී ඉන්දීය නායක Virat Kohli හට පස්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇති අතර පන්දුවාර විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානය 10 සඳහා කිසිදු ඉන්දියානු ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Pat Cummins හට හිමිව තිබෙන අතර ඉන්දීය ක්‍රීඩක Ravichandran Ashwin දෙවැනි ස්ථානයේ පසුවෙනවා.

ඉන්දීය නායක Virat Kohli ටෙස්ට් පිතිකරුවන් අතර ද පස්වැනි ස්ථානයේ රැඳී සිටිමින් තරග ආකෘති ත්‍රිත්වයේම මුල් දස දෙනා අතර රැඳී සිටීමට සමත්ව තිබෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉහළම ස්ථානයක් ලබා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වෙමින් දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් පන්දුවාර විස්ස පන්දු යවන්න ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<