සහය දිවීමේ කණ්ඩායම් ආසියාව හොල්ලයි; සමස්ත පදක්කම් ගණන 9ක්

916

පසුගිය 7 වැනිදා ජපානයේ ගිෆූ හිදී ආරම්භ වූ කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් දිනය වන අද (10) දිනයේ පැවති 4×400 පිරිමි හා කාන්තා තරග ඉසව් දෙකේ දී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකි විය. එසේම අමාෂා ද සිල්වා මීටර 200 කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම ද තමන් සතු කර ගැනීමට සමත් වූවාය.

17 හැවිරිදි පාරමි ආසියාව පරාජය කරමින් රන් පදක්කමක් දිනයි

18 වැනි වරටත් පැවැත්වෙන කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දහවල් කාලයේ පැවති තරගවල දී මීටර 400 රිදී පදක්කම් ලාභී ඩිලිෂි කුමාරසිංහ ශ්‍රී ලංකාව…

සහය දිවීමේ තරග

4×400 ධාවන ඉසව්වන් වල කාන්තා තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඉෂාර ආධිත්‍යා, සචිනි දිව්‍යාංජලි, අමාෂා ද සිල්වා හා ඩිලිශි කුමාරසිංහ යන ක්‍රීඩිකාවන් විසිනි.

කණ්ඩායම් 5ක් තරග වැදුණු මේ තරග ඉසව්වේ මිනිත්තු 3:45.16ක කාලයකින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායමට ලෝකඩ පදක්කමින් සෑහීමකට පත්වීමට සිදු වූ අතර ජපානය (මිනිත්තු 3:38.20) හා ඉන්දියාව (මිනිත්තු 3:41.11) එහි රන් හා රිදී පදක්කම් ජයග්‍රහණය කළේය. පළමු ස්ථානය ලබා ගත් ජපාන් සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්ව අවසන් කළේ නව ශූරතා තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

අනතුරුව පැවැත්වුණු පිරිමි 4×400 ධාවන තරගය සඳහා මෙවර පැවති මීටර 400 ධාවන තරග ඉසව්වේ නව ශූරතා තරගාවලි වාර්තාවක් පිහිටුවන ලද අරුණ දර්ශන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුන අතර මේ තරග ඉසව්ව කෙරෙහි ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමු විය.

තරගයේ ආරම්භය ලබා ගත් නිකූ පබසර තෙවැන්නා ලෙස යෂ්ටිය පසිඳු කොඩිකාර වෙත ලබා දුන් අතර පසිඳු එතෙක් වේලාවක් තරගයේ පෙරමුණේ පැමිණි ජපන් කණ්ඩායම හා තායිලන්ත කණ්ඩායම අභිබවා යමින් ධාවනයේ නිරත වූයේ ඉතාමත් දක්ෂ  ලෙසයි.

පසිඳු රැගෙන ආ වාසිය තවදුරටත් රැක ගැනීමට රවිෂ්ක ඉන්ද්‍රජිත් සමත් වූ අතර අවසානයේ අරුණ දර්ශන වෙත ලැබුණු යෂ්ටිය ද රැගෙන ඔහු ඉතාමත් ජව සම්පන්න ලෙස තරග ඉසව්ව අවසන් කළේ (මිනිත්තු 3:08.70) ශ්‍රී ලංකාව මෙවර මෙම තරගාවලියේ ලබා ගත් තෙවැනි රන් පදක්කම දිනා ගනිමිනි. එහි රිදී හා ලෝකඩ පදක්කම පිළිවෙළින් තායිලන්තය (මිනිත්තු 3:09.20) හා මැලේසියාව (මිනිත්තු 3:09.60) විසින් ජයග්‍රහණය කරන ලදි.

මීටර් 200 කාන්තා

නාගාරගාව ක්‍රීඩා පිටියේ දී මීටර් 100 කාන්තා අංශයේ රිදී පදක්කම ද ශ්‍රී ලංකාවට ගෙන දුන් අමාෂා ද සිල්වා අද (10) දිනයේ මීටර 200 කාන්තා අවසන් තරගය සඳහා සහභාගී වූ අතර ඇය 9 වන මංතීරුව යටතේ තරග වැදුණේ ප්‍රබල ජපන් හා චීන ක්‍රීඩිකාවන් සමඟයි.

අවසන් තරගයේ දී තරගයේ ආරම්භයේ සිටම ජව සම්පන්න ලෙස ධාවනයේ නිරත වුන අමාෂා ද සිල්වා තත්පර 24.47ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එම ඉසව්ව අවසන් කළේ, ඇයගේ හොඳම තරග කාලයට වඩා තත්පර 0.02කින් කාලය ඉදිරියට ගනිමිනි. මීට පෙර ඇයගේ හොඳම දක්ෂතාවය වූයේ තත්පර 24.49කි.

මීටර 200 කාන්තා තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් චීන ක්‍රීඩිකා යනන් ටාඕ තත්පර 24.01ක කාලයකින් තරග ඉසව්ව අවසන් කළ අතර ලෝකඩ පදක්කම දිනා ගත් ඉන්දීය ක්‍රීඩිකා ජිස්නා මැතිව් 24.48ක කාලයකින් තරගය අවසන් කළාය. අවසන් නැම්මට පසුව පළමු ස්ථාන 4 දිනා ගත් ක්‍රීඩිකාවන් අතර  ගොඩනැංවුණු කරට කර සටන නිසා එම ධාවන තරගයේ අවසානය ඉතාමත් තරගකාරී විය. එම තරගකාරිත්වය අමාශාගේ හොඳම දක්ෂතාවය ඉස්මතු කිරීමට ද ඇයට විශාල සවියක් වූ බව නොරහසකි.

මීටර 400 ඉසව්වේ රිදී පදක්කම් ලාභී පසිඳු කොඩිකාර අද දිනයේ දී පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ධාවන තරග ඉසව්වේ අවසන් තරගය නියෝජනය කළ අතර එහි දී ඔහුට දිනා ගැනීමට හැකි වූයේ 6 වැනි ස්ථානයයි.

තෙවන මංතිරුව යටතේ ආරම්භය ලබා ගත් පසිඳු සිය ධාවන රටාව ඉතාමත් හොඳින් පවත්වා ගෙන ආ නමුත් අවසන් නැම්මට පසුව අනෙකුත් ක්‍රීඩකයින් පසිඳුව අභිබවා ධාවනයේ නිරත විය.

කෙසේ නමුත් පසිඳු තත්පර 53.47ක කාලයක් තුළ සිය තරග ඉසව්ව අවසන් කළ අතර එහි පළමු ස්ථානය ලබා ගත් ජපානයේ යුසුකි ශිරාඕ තත්පර 50.52ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් රන් පදක්කම දිනා ගන්නා ලදි . එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් කටාර් දේශයේ හාල්මොන් බන්සාර් (තත්පර 50.55) හා ඉන්දියාවේ මහදි ප්‍රජාන් (තත්පර 51.18) සමත් විය.

 

උස පැනීම

පිරිමි උස පැනීමේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරිඳු දසුන් හට හිමි වූයේ 8 වැනි ස්ථානයයි. එහි දී තරිඳු විසින් මීටර 2.03ක උසක් තරණය කරමින් සිය උපරිම දක්ෂතාවය ප්‍රදර්ශනය කළ අතර මීටර 2.16ක උසක් තරණය කළ ජපානයේ කියෝහි ටොම්රි එහි රන් පදක්කම දිනා ගත්තේය. එහි රිදී හා ලෝකඩ පදක්කම පිළිවෙළින් කටාර් රාජ්‍ය (මීටර 2.14) හා චීනයට (මීටර 2.12) හිමි විය.

මේ අනුව පුරා දින 4ක් පුරාවට පැවති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නිමාවට පත්වන අතර ඒ අතරින් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 5ක් හා එක් ලෝකඩ පදක්කමක් ඇතුළුව සමස්ත පදක්කම් 9ක් දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණීම අගය කළ යුතු කරුණකි.

මෙවර තරගාවලිය තුළ ශ්‍රී ලංකාව ලබාගත් පදක්කම් ප්‍රමාණය මෙතෙක් පැවති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා එක් තරගාවලියක ශ්‍රී ලංකාව ලබා ගත් වැඩිම පදක්කම් ප්‍රමාණය ද ලෙස ඉතිහාසගත වෙනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<