“ඕස්ට්‍රේලියානු අගමැතිට අපේ ජීවිතවල වටිනාකමක් නැද්ද?” – Micheal Slater

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

242

අද වන විට ඉන්දියාව තුල කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් නිසි සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ නොහැකියාව හේතුවෙන් ඉතාමත් ඛේදනීය ඉරණමකට මුහුණ පා සිටින මොහොතක දී එහි බැරූරුම්කම හරිහැටි අවබෝධ කරගත හැකි දූරදර්ශී පාලකයින් තම රටෙහි නොමැති වීම පිළිබඳ දැඩි කනස්සල්ලෙන් පසු වන බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Micheal Slater ඊයේ (05) Twitter සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි.

ඉන්දියාවෙහි රැඳී සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් එරටට ගෙන්වා ගැනීම සඳහා නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සකසනවා වෙනුවට ඔවුන් සියල්ලන්ගේම ජීවිත අවදානමේ හෙළමින් දින 14ක කාලසීමාවක් සඳහා ඉන්දියාවේ සිට පැමිණෙන ඕනෑම අයෙකුට දේශ සීමාවන් වසා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව Slater තම Twitter සටහනේ ඉතාමත් පැහැදිලිව අවධාරණය කොට තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා මෙම ගැටලුව සම්බන්ධයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තමන්ට දැඩි ප්‍රශ්නාර්ථයක් බවත් රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන් ඔහු සෙසු පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටිය දී මෙවැනි තීරණයකට එළඹීම පුදුමසහගත බව ද Slater පවසා තිබුණේ තමන් සමඟම ඕනෑම අවස්ථාවක දී විවෘත විවාදයකට එන මෙන් අග්‍රාමාත්‍යවරයා හට  අභියෝගයක් ද එල්ල කරමිනි.

“අගමැතිවරයා මේ වගේ අසීරු කාලපරිච්ඡේදයක තමන්ගේ පුරවැසියන්ගේ අයිතීන් තඹ දොයිදුවකටවත් මායිම් නොකර කටයුතු කරන ආකාරය හරිම අපූරුයි. ඉන්දියාවේ ඉන්න හැම ඕස්ට්‍රේලියානුවෙකුට මරණ බය කියන එක දැනෙනවා. ඔහු මේ අවදානම තේරුම් ගත යුතුයි. මම අගමැතිතුමාට කියනවා එන්න ඔබගේ පෞද්ගලික ගුවන් යානයෙන් ඇවිත් බලන්න ඉන්දියාවේ වර්තමාන තත්වය දිහා.”

තවත් ක්‍රිකට් පුවත්:

“මේ වෙලාවේ දී තමන්ගේ මව් රටට ආපසු යන්න බැරිව ඉන්දියාවේ හිරවෙලා ඉන්න එක ඕස්ට්‍රේලියානුවෙක්ට හරි කරදරයක් සිද්ධ වුනොත් ඒකේ වගේම සෘජුවම අගමැතිවරයා භාරගත යුතුයි” යනුවෙන් Slater දැඩිව තම ස්ථාවරය ප්‍රකාශකොට තිබුණේ ඕස්ට්‍රේලියානු රජය විසින් ඉන්දියාවේ සිට පැමිණෙන සියලුම මඟී ගුවන් යානා ඉදිරි දින 14ක කාලසීමාවක් දක්වා වාරණය කරමිනි.

කෙසේ නමුත් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙමින් COVID-19 වයිරසය පරාජය කිරීම සඳහා වෙර දරන තම ආදරණීය ඉන්දීය ජනතාව හට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරන අතරවාරයේ ඉතාමත් ඉක්මනින් මෙම අවාසනාවන්ත තත්වයෙන් අත්මිඳීමට හැකි වේ යැයි තමන් විශ්වාස කරන බව ද Slaterගේ Twitter පණිවිඩයෙහි සඳහන්ව තිබුණි.

මෙම විවේචනාත්මක ප්‍රකාශයන් හට පිළිතුරක් ලබා දෙමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි Nick Hockley මහතා අවධාරණය කර සිටියේ IPL තරගාවලිය සඳහා සහභාහී වූ සියලුම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ කාර්‍ය මණ්ඩල සාමාජිකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාලදිවයින හෝ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් සම්පාදනය කරන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<