මතභේදාත්මක ක්‍රිකට් නීතියක් MCC සංශෝධනය කරයි

4283
Adam Zampa incident

ක්‍රිකට් නීති සම්පාදනය කරන MCC සමාජය විසින් පිතිකරණයේ නොයෙදෙන පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියේ සිටිය දී දුවද්දී දවා ගැනීමට අදාළ නීතියේ අපැහැදිලි ස්ථාන මඟ හරවා ගැනීම සඳහා එය සංශෝධනය කර තිබෙනවා.

බිග් බෑෂ් තරගාවලියේ දී Adam Zampa විසින් Tom Rogers එලෙස දවා ගැනීමට දැරූ උත්සහය විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සලකා බලමින් එවැනි අපැහැදිලි සිදුවීම් සිදු නොවීමට මෙලෙස එය සංශෝධනය කර තිබෙනවා.

මෙල්බර්න් හී පැවති එම තරගයේ දී Zampa විසින් ප්‍රතිවාදී පිතිකරුවා දවා ගැනීමට කළ උත්සහයෙන් පසුව තෙවැනි විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඒ වන විට ඔහුගේ අත සාමාන්‍යයෙන් පන්දුව මුදා හරින ස්ථානය පසු කර ඇති බව සඳහන් කරමිනුයි.

මෙම සිදුවීමෙන් පසුව MCC සමාජය විසින් එම විනිසුරුවරයාගේ තීරණය නිවැරදි බවට ප්‍රකාශයක් නිකුත් කළ අතර පන්දුව නිදහස් කරන ස්ථානය පන්දු යවන්නාගේ ඉරියව්වේ ඉහළම ස්ථානය බවට ද පැහැදිලි කර තිබුණා.

එය දැන් MCC නීති 38 හි 3.2 වගන්තියට ඇතුළත් වන අතර ජනවාරි 19 වැනිදා සිට එය ක්‍රියාත්මක වනවා. නමුත් එය පිළිබඳව දැනුවත් කරමින් MCC සමාජය ප්‍රකාශ කළේ එයින් නීතියේ වෙනත් වෙනසක් සිදු නොවන බවයි.

නව 38.3.2ට අනුව, “සාමාන්‍යයෙන් පන්දු යවන්නා පන්දුව මුදා හරින ස්ථානයට පැමිණීමට පෙර පහර නොදෙන පිතිකරුවා සිය සීමාව පසු කළත්, පන්දු යවන්නා පන්දුව මුදා හරින ස්ථානය පැමිණි පසුව ඔහුට එම ක්‍රීඩකයා දවා ගැනීමට නොහැක”, යනුවෙන් සඳහන් වෙනවා.

මෙම ප්‍රකාශයත් සමඟ MCC නැවතත් තහවුරු කළේ එම නීතිය කාලයක් තිස්සේ ස්ථාවර ව පැවති බවත් සහ එම විනිසුරුවරයන්ගේ තීරණය නිවැරදි බවයි.

“මෙම නීතිය විනිසුරුවරයන්, ක්‍රීඩකයින් විසින් හොඳින් වටහා ගෙන තිබුනත් අපැහැදිලි ස්ථාන තිබෙන්නට පුළුවන් කියලා අපි පිළිගන්නවා. ඒ නිසා එයට වඩා පැහැදිලි බවක් ගෙන එන්න 38.3.2 නීතිය සංශෝධනය කරන්න අපි (MCC) කටයුතු කළා.

සමහර ක්‍රීඩකයින්ට හිතෙන්න පුළුවන් පන්දුවට පහර නොදෙන පිතිකරුවා සීමා ඉර පසු කිරීමෙන් පසුව පන්දු යවන්නා සිය ඉරියව්ව සම්පූර්ණ කර තිබුනත්, ඔහුව දවා ගන්න පුළුවන් කියලා. ඒක කිසි විටකත් නීතියෙන් හෝ MCC මගින් අර්ථකතනය කළ ආකාරය නෙවෙයි.

ඒ වගේම මේක නීතිය අර්ථ දැක්වීමේ වෙනසක් නොවෙන බවත් සැලකිල්ලට ගන්නට ඕන. එය පසුගිය වසර හය තුළම නිවැරදිව අර්ථ දක්වලා තිබුණා. කෙසේ වෙතත් මේ සංශෝධනය මගින් කරුණු පැහැදිලි වෙයි කියලා අපේක්ෂා කරනවා”, යැයි MCC නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<