මට Peshawar Zalmiගේ අනුකම්පාව ඕනේ නැහැ – Kamran Akmal

893

හිටපු පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක Kamran Akmal පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් (Pakistan Super League – PSL) ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ එම තරගාවලියේ හත්වැනි අදියර සඳහා වන ක්‍රීඩක ලැයිස්තුගත කිරීමේ දී ඔහුව රිදී කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබීම නිසාවෙන්.

“රිදී කාණ්ඩයේ මාව තෝරා ගැනීමට වඩා තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා දීම වඩා හොඳ වනු ඇත”, යැයි Twitter සටහනක් තබමින් Kamran Akmal සිය කණ්ඩායම වූ Peshawar Zalmi සමඟ ඇති ඔහුගේ අප්‍රසාදය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.

සිය YouTube නාලිකාව වන “Catch and Bat with Kamran Akmal” හි සංවාදයක දී ද ඔහු මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා. එහි දී ඔහු, “සමහර විට කණ්ඩායමට තවදුරටත් මගෙන් ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්”, යැයි පවසා තිබූ අතර එය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා.

“මෙම රිදී කාණ්ඩයේ ක්‍රීඩා කිරීමට මම සුදුසු නැති නිසා කරුණාකර මාව නිදහස් කරන්න. මේ වගේ අඩු කාණ්ඩ තරුණ ක්‍රීඩකයින්ට වඩාත් සුදුසුයි. පසුගිය වාර හය තුළ මම ඔබලාගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා කියලා මට Peshawar Zalmi කණ්ඩායමේ අනුකම්පාව අවශ්‍ය නැහැ”, Kamran Akmal පවසා සිටියා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව අදහස් දක්වමින් Kamran Akmal වැඩි දුරටත් කියා සිටියේ, පසුගිය වසරේ දී තම කාණ්ඩය ප්ලැටිනම් සිට රන් දක්වා වෙනස් වූ විට ද තමන් කම්පනයට පත් වූ බවයි.

මේ වන විට 39 හැවිරිදි වන Kamran Akmal තම දක්ෂතා පිළිබඳව සැලකීමේ දී තමන් රන් කාණ්ඩයට සුදුසු බව විශ්වාස කරන නමුත්, ඔහු කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කිසිදු අනුකම්පාවක් බලාපොරොත්තු නොවන බව පවසා තිබෙනවා.

“පසුගිය තරගාවලි කීපය තුල මගේ හොඳ වාර්තාවක් තිබිය දීත් මගේ කාණ්ඩය ප්ලැටිනම් කාණ්ඩයේ සිට රන් දක්වා පහත හෙළීම ගැන මා පුදුමයට පත් වුනා. මම රන් කාණ්ඩයට පහත හෙළන විට පවා ඒ ගැන හිතන්නේ නැතුව ක්‍රීඩා කරන්න මම තීරණය කළා. නමුත් බොහෝ කාලයක් හොඳින් ක්‍රීඩා කිරීමෙන් පස්සේ හදිසියේම පහළ කාණ්ඩයකට ඇතුළත්

කිරීම දරාගන්න අමාරුයි. ඔවුන් මට රන් කාණ්ඩයට අදාළ වැටුප ගෙවන්න එකඟ වුනා. ඒත් මේක මුදල් ගැන දෙයක් නෙමෙයි”, Kamran Akmal වැඩිදුරටත් පවසා සිටියා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී ශතක තුනක් ඇතුළුව ලකුණු 1820ක් වාර්තා කිරීමට Kamran Akmal සමත්ව තිබෙනවා. සිය නිල Twitter ගිණුමේ සටහනක් තබමින් තරගාවලියේ ඔහු මෙතෙක් ක්‍රීඩා කළ තරගාවලි හය තමාට අමතක නොවන ගමනක් වූ බව පවසා සිටියා. සිය Twitter පණිවිඩය මඟින් කණ්ඩායමේ හිමිකරු Javed Afridi සහ කණ්ඩායමේ සාමාජිකයින් වන Daren Sammyට සහ Wahab Riazට ස්තූති කිරීමටත් Kamran Akmal කටයුතු කර තිබුණා.

“පසුගිය වාර 6 තුළ මේ ගමන විශිෂ්ට ගමනක් වුනා. අමාරු කාලවල දී උදව් කිරීම ගැන Javed Afridi, Daren Sammy සහ Wahab Riaz ඔබට ස්තුතියි. Peshawar Zalmi ඔබට සුබ පැතුම්. මේ කාලය තුළ මට සහය ලබා දුන් සියලුම රසික රසිකාවියන්ට ස්තුතියි”, Kamran Akmal Twitter පණිවිඩයෙන් පවසා සිටියා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<