නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ශ්‍රී ලාංකිකයෙකුට

6773

හිටපු  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක මහතා නේපාල පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදී සිසුවෙකු වන දසනායක මහතා කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා සහ කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකම නියෝජනය කර තිබෙනවා.

1993-1994 කාලවකවානුව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබෙන ඔහු පසුව 2005 සහ 2006 වසරවල දී කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

2007 – 2011 කාලසමය තුළ ඔහු කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් පුහුණුකරුවෙකු ලෙස සිය ගමන ආරම්භ කරන අතර ඉන්පසුව 2011 – 2015 කාලයේ දී නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ 2014 වසරේ දී බංග්ලාදේශයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට නේපාලය සමත් වුනා.

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා සමු දුන් ඔහු ඉන්පසුව 2016 වසරේ සිට 2019 වසරේ අවසානය දක්වා ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් පුහුණුකරුවෙකු ලෙස සැලකිය යුතු මට්ටමේ අත්දැකීම් රාශියක් ලබා ගැනීමට සමත් වුනා.

“නැවතත් මට නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔවුන් එක්ක එකතු වෙන්න පුළුවන් වුනු එක ගැන මම සතුටට පත්වෙනවා. නේපාලය ICC පූර්ණ සාමාජික නොවන රටවල් අතර ඉදිරියටම රැගෙන ඒම මගේ මූලික ඉලක්කය බවට පත්වෙලා තිබෙනවා”, යැයි දසනායක මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

2020 වසරේ අග භාගයේ දී Dav Whatmore මහතා නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා ගත් නමුත්, ඔහු නියමිත ධුර කාලය අවසන් වීමට පෙර සිය ඉල්ලා අස්වුනා. ඒ අනුව පුරප්පාඩු වූ අසුන සඳහා මෙලෙස පුබුදු දසනායක මහතා තෝරා ගෙන තිබෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<