Kandy ක්‍රීඩකයින් Galle ආධිපත්‍ය බිඳ දමයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

1114

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ Galle Gladiators සහ Kandy Warriors අතරයි.

එම තරගයෙන් Galle Gladiators කඩුලු 5කින් පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට Kandy Warriors ක්‍රීඩකයන්ට හැකි වුනා.

තරගාවලියේ මෙතෙක් සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ Galle Gladiators ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ අතර මෙතෙක් සහභාගී වූ තරග සියල්ලම පරාජයට පත්වූ Kandy Warriors කණ්ඩායමට හිමිව තිබුණේ අවසන් ස්ථානයයි.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators නායක භානුක රාජපක්ෂ මුලින් පන්දුවට පහර දීමට තීරණය කළා.

Galle Gladiators කණ්ඩායමට ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩක Mohammad Hafeez වෙනුවට Mohammad Amir කැඳවා තිබූ අතර Kandy Warriors සංචිතයට අලුතින් එක්වූ Tom Moores සහ Ravi Bopara අද තරගට එකතු කර තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators: Danushka Gunathilaka, Kusal Mendis, Ben Dunk (wk), Bhanuka Rajapaksa (c), Sadeera Samarawickrama, Samit Patel, Lahiru Madushanka, Dhananjaya Lakshan, Noor Ahmad, Nuwan Thushara, Mohammad Amir.
  • Kandy Warriors: Tom Moores (wk), Charith Asalanka, Kamindu Mendis, Angelo Perera (c), Ravi Bopara, TM Sampath, Minod Bhanuka, Nimesh Vimukthi, Sachindu Colombage, Al-Amin Hossain, Shiraz Ahmed.

සාර්ථක ආරම්භයක් ලබා ගැනීමේ අරමුණින් පිටියට පිවිසි Gladiators ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 5කට සහ සදීර සමරවික්‍රම ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට Kandy Warriors ක්‍රීඩකයන්ට හැකි වුනා.

Kandy Warriors පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ Ben Dunk ලකුණු 12කට සහ නායක භානුක රාජපක්ෂ ලකුණු 3කට දැවී යන විට Galle Gladiators ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 60ක් ලෙසයි.

තරග තහනමකට ලක්වීමෙන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී නිමේෂ් විමුක්තිගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 44 රැස් කරගෙන සිටියා.

අනෙකුත් Galle Gladiators පිතිකරුවන්ට සාර්ථක වීමට Kandy Warriors පන්දු යවන්නන් ඉඩ ලබා නොදෙන විට හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ Samit Patel නොදැවී රැස් කළ ලකුණු 36 නිසාවෙන් Gladiators ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 127ක්.

Kandy Warriors වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර නිමේෂ් විමුක්ති සහ ශිරාස් අහමඩ් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 128ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි Kandy Warriors ආරම්භක පිතිකරු ටී.එම්. සම්පත් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරමින් හොඳ ආරම්භයක් ලබා දීමට වේගපන්දු යවන ක්‍රීඩක Mohammad Amirට හැකි වුනා.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 29ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු ලකුණු 21ක් රැස් කරගෙන සිටි චරිත් අසලංක, ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ 33ක් ලෙසයි.

ලකුණු 12ක් රැස් කරගෙන සිටි Kandy Warriors නායක ඇන්ජලෝ පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව 40ක් වන විට දැවී ගියේ නුවන් තුෂාර යොමු කළ අගනා පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි.

Kandy Warriors ඉනිම තවත් අගාධයට දමමින් ලකුණු 7ක් වාර්තා කරගෙන සිටි කමිඳු මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට Samit Patel සමත් වන විට Warriors ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 56ක් ලෙසයි.

නමුත් තරගයේ වැඩි ගෞරවය Warriors කණ්ඩායමට දිනා දෙමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 28ක් රැස් කරගෙන සිටි Tom Moores දැවී ගියේ Samit Patelගේ පන්දුවක් හමුවේයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ravi Bopara නොදැවී වාර්තා කර ගත් ලකුණු 34 නිසාවෙන් Kandy Warriors පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යන්නට සමත් වුනා.

පන්දු යැවීමේ දී Samit Patel කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන් සහ Mohammad Amir අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම ජයග්‍රහණය සමඟින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ හතරවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට Kandy Warriors ක්‍රීඩකයන්ට හැකි වුනා.

LPL තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<