පාකිස්තාන ක්‍රිකට් මුල් පුටුවක වෙනසක්

664

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ Wasim Khanගෙන් හිස්වූ ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා (Chief Executive Officer) ලෙස හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියෙකු වූ Faisal Hasnain පත්කිරීමට තීරණය කර තිබෙනවා.

Faisal Hasnain ජනවාරි මාසයේ සිට සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ඔහු මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙන්ම සිම්බාබ්වේ ක්‍රිකට් සඳහා ද සිය සේවය ලබා දුන් අත්දැකීම් බහුල නිලධාරියෙක්.

මෙම පත්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja ප්‍රකාශ කර සිටියේ,

“Faisal ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට හුරුපුරුදු චරිතයක් මෙන්ම ඉහළ පිළිගැනීමකට ලක්වුණ අයෙක්. ආයතනික සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ඔහුගේ ඇති දැනුම විශිෂ්ටයි වගේම විශ්වසනීයයි.

පාකිස්තාන ක්‍රිකට් සඳහා මගේ ඇති සැලසුම් අනුව Faisalගේ ඇති දැනුම සහ විශාල පළපුරුද්ද භාවිතා කරලා පාකිස්තාන ක්‍රිකට් ශක්තිමත් කිරීමට සහ මූල්‍ය අරමුණු ළඟා කර ගැනීමට ඔහු ඉතාම සුදුසුයි”.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟින් සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව සිය අදහස් දක්වමින් Faisal Hasnain ප්‍රකාශ කර සිටියේ පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියාගේ අරමුණු ළඟා කර ගැනීම සඳහා මගේ කොටස නිවැරදිව ඉටු කිරීමට මම කැප වී සිටින බවයි.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<