2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාව සසල කළ 9.11 ප්‍රහාරය මේ දක්වාම එරට දේශපාලන අධිකාරිය සහ මහජනතාව විසින් විවිධාකාරයෙන් සිහිකරනවා. අනපේක්ෂිතව සිදු වූ ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිනිසුන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වීම සහ විශාල වටිනාකමින් යුත් මර්මස්ථාන විනාශයට පත් වනවා.
නමුත් ඒ 9.11 ම මෙරට ක්‍රීඩා පිටියේ නව සංධිස්ථානයක් බිහිකිරීමට සමත් වෙනවා. ලෝක ඉතිහාසය සටහන් කරන්නන්ට ඇමරිකානුවන්ට එල්ල වූ ප්‍රහාරයට යටින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තාන ක්‍රීඩකයන්ට එල්ල කළ ප්‍රහාරයත්, ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ සිංගප්පූරුවට එල්ල කළ ප්‍රහාරයත් ගැන ලියන්නට වෙනවා.
ඒ අනුව යමින් අප පළමුවෙන් ම ආසියානු කුසලානය දිනා ගත් ක්‍රිකට් කොල්ලන් ගැන කතා කරමු.
ආසියානු කුසලානය මෙවර ශ්‍රී ලංකාව දිනා ගන්නේ 6 වැනි වරටයි. එහි අවස්ථා 6ක දී අනුශූරතා ද දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඒ අනුව 15 වරක් පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවස්ථා 3ක දී පමණයි ශ්‍රී ලංකාව අවසන් මහා තරග සඳහා සහභාගී වී නැත්තේ. ඒ 2012, 2016 සහ 2018 වසරවලයි.
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ගමන් මඟ | |||||
තරග | අවුරුද්ද | නායකත්වය | විසඳුන ආකාරය | ප්‍රතාවාදීන් | |
1 | OD1 | 1986 | දුලිප් මෙන්ඩිස් | කඩුලු 5ක ජයක් | පාකිස්තානය |
2 | ODI | 1997 | අර්ජුන රණතුංග | කඩුලු 8ක ජයක් | ඉන්දියාව |
3 | ODI | 2004 | මාවන් අතපත්තු | ලකුණු 25ක ජයක් | ඉන්දියාව |
4 | ODI | 2008 | මහේල ජයවර්ධන | ලකුණු 100ක ජයක් | ඉන්දියාව |
5 | ODI | 2014 | ඇන්ජලෝ මැතිව්ස් | කඩුලු 5ක ජයක් | පාකිස්තානය |
6 | T20 | 2022 | දසුන් ශානක | ලකුණු 23ක ජයක් | පාකිස්තානය |
2022 තරගාවලිය
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන සමාරම්භක තරගය නිමා කරන්නේ බොහෝ කයි-කතන්දර හදාගෙන. තවමත් කෝඩුකාරයන් සේ හැඳින්වෙන ඇෆ්ගනිස්ථානය හමුවේ කඩුලු 8කින් පරාජය වීම ඊට හේතු වුනා.
ඊටත් වඩා ඇෆ්ගනිස්ථානය හමුවේ ලකුණු 105කට දැවී යෑම හද්ද විලිලැජ්ජාවක් බවයි බොහෝ දෙනෙක්ගේ මතය වූයේ. නමුත් ක්‍රිකට් යනු ඔරලෝසු කටුවටත් වඩා වේගයෙන් වෙනස් වෙන්නක් බැව් එතැන් සිට පැවති සෑම තරගයක දී ම ඔප්පුකර පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා.
එම තරග අතර වඩාත් ආකර්ශනීය තරගය වූයේ බංග්ලාදේශය සමඟ පළමු වටයේ දී පැවති දෙවැනි තරගයයි. එහි දී ප්‍රතිවාදීන් කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ලබා ගන්නා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී ලබා ගන්නේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබිය දීයි. එය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැරවුම් ලක්ෂයක් ලෙසයි.
එය එසේ ම වෙන්නට ඉඩ හැරි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටයේ A කාණ්ඩයෙන් ඇෆ්ගනිස්ථානය අපරාජිතයන් වෙමින් පළමු ස්ථානයට පත් වෙද්දී, ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය ලබා ගත්තා.
- ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට!
- පාකිස්තාන පුහුණුකරු අවසන් මහා තරගය ගැන අදහස් දක්වයි
- WATCH – පුද්ගලික දස්කම් වලට වඩා කණ්ඩායමක් ලෙස දස්කම් දැක්වීම ජයග්‍රහණයට හේතුවක් – Bhanuka Rajapaksa
- ආසියානු ක්‍රිකට් කිරුළ අභියස සිට
- නොකඩවා තරග 4ක් ජයගනිමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට
සුපිරි හතර වටයේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වූයේ තරමක සසල බවකින්. ඒ ප්‍රතිවාදියා පළමු වටයේ පළමු තරගයේ දී බැට දුන් ඇෆ්ගනිස්ථානය නිසායි. නමුත් ඇෆ්ගනිස්ථානය ද නොසිතූ ලෙසින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන ගැන පූර්වෝක්ති ලියැවෙන්නට හේතු වුනා.
එය තවත් වර්ණනා කරමින් ලියන්නට ඉන්දියාවට එරෙහිව ලැබූ ජයග්‍රහණය ද හේතු වුනා.
අනතුරුව පැවති පාකිස්තානය සමඟ තරගය වන විට ශ්‍රී ලංකාව සේ ම පාකිස්තානය ද එකිනෙකා අවසන් මහා තරගයේ දී ද හමුවෙනු දැන දැන තරගයට පිවිසියා. එහි දී ද ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතා ඉහළ ලෙසින් විහිදුණා. ඒ විශ්වාසය අවසන් මහා තරගය දක්වා ම පැමිණියා.
නමුත් එම තරගයේ දී වූ අනපේක්ෂිත කඩා වැටීම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු තරමක් දුරස් කිරීමක් බවට පත් වුනා. එහෙත් වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ එක්ව ගොඩ නැගූ ඉනිම කාලයකට අමතක නොවන්නක් බවට පත් කළා. ඉන් නොනැවතුණ වනිඳු, නවක ක්‍රීඩක ප්‍රමෝද් මධුශාන් සහ චාමික කරුණාරත්න ද කැටිව අහිමි වෙන්නට තිබූ ජයග්‍රහණයක් හිමි කර දුන්නා.
එය විශිෂ්ට අවසානයක් සහිත තරගයක් පමණක් නොවේ, තරගාවලියක් බවට ද පත්වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 2022 ගමන් මඟ | |||
ප්‍රතිවාදීන් | ලකුණු පුවරුව | ප්‍රතිඵලය | |
1 | ඇෆ්ගනිස්ථානය
ඩුබායි හිදි |
ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 105 (19.4)
ඇෆ්ගනිස්ථානය; කඩුලු 2ක් දැවී 106 (10.1) |
ඇෆ්ගනිස්ථානයට
කඩුලු 8ක ජයක් |
2 | බංග්ලාදේශය
ඩුබායි හිදි |
බංග්ලාදේශය; කඩුලු 7ක් දැවී 183 (20)
ශ්‍රී ලංකාව; කඩුලු 4ක් දැවී 184 (19.2) |
ශ්‍රී ලංකාවට
කඩුලු 2ක ජයක් |
3 | ඇෆ්ගනිස්ථානය
සාජා හිදී |
ඇෆ්ගනිස්ථානය; කඩුලු 6ක් දැවී 175 (20)
ශ්‍රී ලංකාව; කඩුලු 6ක් දැවී 179 (19.1) |
ශ්‍රී ලංකාවට
කඩුලු 4ක ජයක් |
4 | ඉන්දියාව
ඩුබායි හිදී |
ඉන්දියාව; කඩුලු 8ක් දැවී 173 (20)
ශ්‍රී ලංකාව; කඩුලු 4ක් දැවී 174 (19.5) |
ශ්‍රී ලංකාවට
කඩුලු 6ක ජයක් |
5 | පාකිස්තානය
ඩුබායි හිදී |
පාකිස්තානය; සියලුම දෙනා දැවී 121 (19.1)
ශ්‍රී ලංකාව; කඩුලු 5ක් දැවී 124 (17) |
ශ්‍රී ලංකාවට
කඩුලු 5ක ජයක් |
6 | පාකිස්තානය
ඩුබායි හිදී |
ශ්‍රී ලංකාව; කඩුලු 6ක් දැවී 170 (20)
පාකිස්තානය; සියලුම දෙනා දැවී 147 (20) |
ශ්‍රී ලංකාවට
ලකුණු 23ක ජයක් |
පිතිකරුවන්ගේ දක්ෂතා
තරගාවලිය නිමා වෙන්නේ අපේ පිතිකරුවන්ට වඩා අනෙක් පිතිකරුවන්ගේ දක්ෂතා ඉස්මතු වෙමින්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැකසුණ ලැයිස්තුවේ පළමු 5 දෙනා අතරට අපේ ක්‍රීඩකයන් අතරින් පිවිසීමට සමත් වූයේ භානුක රාජපක්ෂ සහ පැතුම් නිස්සංක පමණයි. ඒ සිව්වැනි සහ පස්වැන්නන් ලෙසින්.
අත්‍යවශ්‍ය අවස්ථාවක තම අත්දැකීම් සහ දක්ෂතා එක්තැන් කළ භානුක රාජපක්ෂ අවසන් තරගයේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා ලෙසින් ද සම්මාන හිමි කර ගන්නවා. කණ්ඩායම වැටී සිටි තැනින් ගොඩ ඒමක් නැතැයි සිතුව භානුක යමක් කරතැයි සිතුවෝ අපමණයයි. භානුක එය සැබෑවක් කළා පමණක් නොවේ, තමන් කෙරෙහි තබා තිබූ විශ්වාසයට ද විශ්වසනීයත්වයක් එක් කළා.
එය පුනරාගමනයක් වැනියි.
පැතුම්ගේ ආරම්භය මෙන් ම අවසානය ද මීට වඩා තරමක් හෝ විශ්වසනීය විය යුතුව තිබුණා. ආරම්භක තරගයේ දී ලකුණු 3කට සහ අවසන් තරගයේ දී ලකුණු 8ක සීමා වීම තුළ අනවශ්‍ය පීඩනයක් අනෙකුත් පිතිකරුවන් කෙරේ යොමු වුනා.
කෙසේ වෙතත් අවසන් තරගය භානුක ගොඩ ගත්තා සේ ම, සුපිරි 4 වටයේ දී ඉන්දියාවට සහ පාකිස්තානයට එරෙහි ව පැතුම් ලබා ගන්නා ලද අර්ධ ශතක ශ්‍රී ලංකාවේ මේ ජයග්‍රාහී ගමනේ කදිම මං සලකුණු වුනා.
කුසල් මෙන්ඩිස් ද ඔවුන් පසු පස ම යමින් තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 155ක් ලබා ගනිමින් හයවැන්නා වීමට සමත් වෙනවා. දසුන් ශානකගේ පිතිහරඹය මේ තරගාවලියේ දී යම් තරමකින් පිඹිදීමක් වූවත්, ඔහුගෙන් මීට වඩා දෙයක් කණ්ඩායමට විය යුතුයි.
එමෙන් ම චාමික කරුණාරත්න සහ වනිඳු හසරංග පිතිකරුවන් ලෙසින් පෑ දක්ෂතා අගය කළ යුතු අතර ධනුෂ්ක ගුණතිලක සුපුරුදු රිද්මයෙන් සිටියා නම් අමාරු තරග එතරම් ම අමාරු නොවන්නට තිබුණා.
ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම ලකුණුලාභියෝ | ||||||||||
Player | Team | M | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | |
1 | Mohammad Rizwan | පාකිස්තානය | 6 | 6 | 1 | 281 | 78* | 56.20 | 0 | 3 |
2 | Virat Kohli | ඉන්දියාව | 5 | 5 | 2 | 276 | 122* | 92.00 | 1 | 2 |
3 | Ibrahim Zadran | පාකිස්තානය | 5 | 5 | 2 | 196 | 64* | 65.33 | 0 | 1 |
4 | භානුක රාජපක්ෂ | ශ්‍රී ලංකාව | 6 | 6 | 2 | 191 | 71* | 47.75 | 0 | 1 |
5 | පැතුම් නිස්සංක | ශ්‍රී ලංකාව | 6 | 6 | 1 | 173 | 55* | 34.60 | 0 | 2 |
පන්දු යවන්නන්ගේ දක්ෂතා
අවසන් තරගයේ දී වනිඳු හසරංග පෑ දක්ෂතා හේතුවෙන් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වීමට වනිඳු සමත් වෙනවා. ඒ දක්වා ම වනිඳු මේ ලැයිස්තුවේ රැඳී සිටියේ මදක් පසු පසට වෙන්නට.
තරග 4ක් නිමා වෙද්දීත් වනිඳු ලබා සිටියේ කඩුලු 3ක් පමණයි. නමුත් පාකිස්තානය සමඟ තරගවල දී කඩුලු 3 බැගින් ලබා ගැනීමට වනිඳු සමත් වෙනවා. ඒ දක්ෂතාත් සමඟින් ඔහු තරගාවලියේ වීරයා බවට ද පත් වෙනවා.
එම ලැයිස්තුවේ ඊළඟට රැඳී සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වෙන්නේ චාමික කරුණාරත්න. ඔහු ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 7ක් වන අතර පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමි ස්ථානය 8. ඔහු පසු පස ප්‍රමෝද් මධුශාන් ලැයිස්තු ගත වීමට සමත් වෙන්නේ තරග දෙකක දී ලබා ගත් කඩුලු 6 හේතුවෙන්. ඔහුත් සමග කඩුලු 6 බැගින් ලබා ගැනීමට පිළිවෙළින් ඩිල්ශාන් මධුශංක සහ මහීෂ් තීක්ෂණ සමත් වෙනවා.
ලැයිස්තුව කෙසේ වෙතත් නවක පන්දු යවන්නෙක් ලෙසින් මතු වූ ප්‍රමෝද් මධුශාන් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මහත් ආශීර්වාදයක් ලෙසින් හැඳින්විය හැකියි. එමෙන් ම ඩිල්ෂාන් මධුශංක සහ අසිත ප්‍රනාන්දු ද වඩාත් පරිස්සම් කර ගත යුතු ක්‍රීඩකයෝ බැව් සිතෙනවා.
ආසියානු කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියෝ | |||||||||
Player | Team | M | Inns | O | M | Runs | Wkts | Best | |
1 | Bhuvneshwar Kumar | ඉන්දියාව | 5 | 5 | 19.0 | 1 | 115 | 11 | 5/4 |
2 | වනිඳු හසරංග | ශ්‍රී ලංකාව | 6 | 6 | 23.0 | 0 | 170 | 9 | 3/21 |
3 | Mohammad Nawaz | පාකිස්තානය | 6 | 6 | 18.4 | 0 | 110 | 8 | 3/5 |
4 | Shadab Khan | පාකිස්තානය | 5 | 5 | 18.4 | 0 | 113 | 8 | 4/8 |
5 | Haris Rauf | පාකිස්තානය | 6 | 6 | 20.0 | 0 | 153 | 8 | 3/29 |
මේ සියලු දේ සමඟින් නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ උණුසුම තව දුරටත් පවතිද්දී අපේ ක්‍රීඩකයෝ ලහි ලහියේ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට සූදානම් වෙනු ඇති. මේ ජයග්‍රහණය ඊට කදිම උත්තේජනයක් සපයනු නොඅනුමානයි.
තරගය අනවශ්‍ය පීඩනයක් නොගන්නට වග බලා ගනිමින් මේ ජයග්‍රහණ මතකයන් ද සමඟින් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැකි වේවායි ThePapare.com හී ප්‍රාර්ථනාවයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<