ජපුර, කැළණිය 50 ඉක්මවයි; යාපනයට හා සබරගමුවටත් ජයග්‍රහණ

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල

370

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරග මේ සති අන්තයේ දී ආරම්භ විය. පළමු වටයේ තරග කොග්ගල BOI ක්‍රීඩාංගණය, පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය හා රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණය යන ස්ථානවල දී ජූලි මස 6 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මහා මංගල්‍යය ගැන දන්නවා ද?

අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල කීයක් තියනවා ද? ඒ ඒ විශ්වවිද්‍යාල වල ක්‍රීඩා කණ්ඩායම් කීයක් විතර….

පළමු සතිඅන්තය

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ රග්බි තරග ආරම්භ කරමින් කැළණිය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලය තරග වැදුනි. තරගය කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයේ දී ලකුණු 52-00ක් ලෙස ජයග්‍රහණය කිරීමට කැළණිය විශ්වවිද්‍යාලය සමත් විය. පළමු අර්ධය අවසානයේ දී ඔවුන් ලකුණු 31-00ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය. (කැළණිය 52 – 00 අග්නිදිග)

D කාණ්ඩයේ තවත් තරගයක් සබරගමුව විශ්වවිද්‍යාල හා වයඹ විශ්වවිද්‍යාලය අතර කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 24-10ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ සබරගමුව විශ්වවිද්‍යාලයි. පළමු අර්ධයේ දී සබරගමුව විශ්වවිද්‍යාලය පෙරමුණ ගෙන සිටියේ ලකුණු 10-05ක් ලෙසිනි. (සබරගමුව 24 – 10 වයඹ)

කාණ්ඩ වටයේ C කාණ්ඩයේ තරග ආරම්භ කරමින් යාපනය විශ්වවිද්‍යාලය හා රජරට විශ්වවිද්‍යාලය තරග වැදුණේ කොග්ගල දී ය. එම තරගය ලකුණු 41-00ක් ලෙස ජයග්‍රහණය කිරීමට යාපනය විශ්වවිද්‍යාලය සමත් විය. (යාපනය 41 – 00 රජරට)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය තරග වැදුණේ A කාණ්ඩයේ තරගයක් ලෙසිනි. එම තරගය ලකුණු 55-00ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් විය. පළමු අර්ධය අවසන් වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලකුණු 31-00ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. (ජපුර 55 – 00 නැගෙනහිර)

පළමු වටයේ තවත් තරගයක් රුහුණ විශ්වවිද්‍යාලය හා ඌව විශ්වවිද්‍යාලය අතර පැවති අතර එම තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය. මෙම තරගය ලකුණු 19-10ක් ලෙස ජයග්‍රහණය කිරීමට රුහුණ විශ්වවිද්‍යාලය සමත් විය. (රුහුණ 19 – 10 ඌව)

ඒ අනුව පළමු සතිඅන්තය නිමා වූයේ කැළණිය, සබරගමුව, ජයවර්ධනපුර, රුහුණ හා යාපනය යන විශ්වවිද්‍යාලවලට ජයග්‍රහණ හිමිකර දෙමිනි. තරග තුනක දී ම ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා නොදීමට කණ්ඩායම් තුනක් සමත් වීම විශේෂත්වයකි. තරග දෙකක දී ලකුණු 50 සීමාව ඉක්මවා ‍යාමට කණ්ඩායම් දෙකක් සමත් විය.

පළමු වටය

විශ්වවිද්‍යාල 13ක රග්බි කණ්ඩායම් තරග වදින පළමු වටයේ අන්තර්ගත කාණ්ඩ සංඛ්‍යාව 4කි. 

  • A කාණ්ඩය – මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය
  • B කාණ්ඩය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ඌව විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය
  • C කාණ්ඩය – කොළඹ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය
  • D කාණ්ඩය – කැළණිය විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය 

දෙවන වටය

පළමු වටයේ කාණ්ඩ තරගවල දී එක් එක් කාණ්ඩවල පළමු ස්ථාන දෙක ලබාගන්නා කණ්ඩායම් දෙක දෙවන වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. දෙවන වටයේ තරග ජූලි මස 27 හා 28 දෙදින කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

අවසන් පූර්ව වටය හා අවසන් තරගය

දෙවන වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග හතරෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත. එම තරග අගෝස්තු මස 3 වැනිදා කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. අවසන් තරගය ද කොග්ගල BOI ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ අගෝස්තු මස 10 වැනිදා ය. 

13 වැනි ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<