විස්සයි විස්ස කිරුළේ වඩාත් අනපේක්ෂිත කණ්ඩායම – පාකිස්තානය

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

591

අට වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට ඇත්තේ තවත් ස්වල්ප කාලයක්.

මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් අතරින් අනපේක්ෂිතම (unpredictable) කණ්ඩායම ලෙස නම් කළ හැක්කේ පාකිස්තානයයි.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ එක් ශූරතාවයකට (2009) හා එක් අනුශූරතාවයකට (2007) මේ දක්වා හිමිකම් කීමට ඔවුන් සමත් වී තිබෙනවා.

එමෙන්ම වර්තමාන විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඔවුන් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවට, එංගලන්තයට හා දකුණු අප්‍රිකාවට පමණක් පසුපසින් සිටිමින්.

15 දෙනෙකුගෙන් සමන්විත ඔවුන්ගේ සංචිතයට නවක මුහුණු රැසක් ම ඇතුළත් වන අතර මෙවර තරගාවලියට ඔවුන් පිවිසෙන්නේ සුපිරි පිතිකරු Babar Azamගේ නායකත්වයෙන් යුතුවයි.

මෙහි දී ඔවුන් Group 2 ඔස්සේ තරග වැදීමට නියමිතව ඇති අතර එම කාණ්ඩයට අයත් අනෙකුත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා සුදුසුකම් ලැබීමේ වටයෙන් තේරීපත්වන කණ්ඩායම් දෙකක්.

විස්සයි විස්ස තරග රටාවේ දී පාකිස්තාන ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ Babar Azam හා Mohammad Rizwan දෙදෙනායි. මෙම පිතිකරණ බලඇණියේ වඩාත් වගකීම්සහගත ම පිතිකරුවකුවන් දෙදෙනා බවට ඔවුන් දෙදෙනා පත්ව ඇත්තේ ඔවුන්ගේ මැදපෙළ අස්ථාවරත්වයත් සමඟින්.

කණ්ඩායමේ කඩුලු රකින්නා ද වශයෙන් කටයුතු කරන Rizwan T20I තරග රටාවේ වත්මන් ICC පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ පසුවන පිතිකරුවා ද වෙයි.

ICC Cricket

ඔවුන් දෙදෙනා හැරුනුකොට පිතිකරණ ලැයිස්තුවේ කිසිදු විශ්වසනීය පිතිකරුවෙකු නොමැති වීම මෙවර තරගාවලියේ දී පාකිස්තානය මුහුණ දෙන විශාලතම අභියෝගයයි.

මෙම සංයුතියේ අංක 3 හා 4 ස්ථානවල පිළිවෙළින් Shan Masood හා Haider Ali දෙදෙනා පිතිකරණයේ යෙදීමට නියමිතව සිටී. අංක 5 ස්ථානයේ Iftikhar Ahmed හා අංක 6 ස්ථානයේ Asif Ali ද පිළිවෙළින් ක්‍රීඩා කරනු ඇත.

මොවුන් 6 දෙනාට අමතරව සංචිතයේ සිටින අනෙක් විශේෂඥ පිතිකරුවා වන්නේ Khushdil Shahය.

මෙම කණ්ඩායමේ සිටින ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා වන Mohammad Nawaz හා Shadab Khan දෙදෙනාටම පිතිකරණ හැකියාවක් තිබීම පාකිස්තාන සංයුතියේ සමබරතාවය පවත්වා ගැනීමට අතිශයින්ම ඉවහල් වන අතර පිළිවෙළින් අංක 7 හා 8 පිතිකරණ ස්ථානවල ඔවුන් කටයුතු කරයි.

පාකිස්තාන පිතිකරණ ලැයිස්තුවේ වඩාත් ප්‍රහාරාත්මක ම පිතිකරුවන් වශයෙන් මේ අතරින් Asif Ali හා තුන් ඉරියව් ක්‍රීඩක Mohammed Nawaz දෙදෙනාව හැඳින්විය හැක.

කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යුගලය වශයෙන් කටයුතු කරන Nawaz හා Shadab පිළිවෙළින් වමත් orthodox පන්දු යවන්නෙකු හා දකුණත් leg-break පන්දු යවන්නෙකු වනවා.

Social News XYZ

ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නේ Usman Qadirය. ඔහු වමත් පා දඟපන්දු යවන්නෙක්. ඔහු හිටපු පාකිස්තාන දඟපන්දු ප්‍රරාවෘත්තයක් වන Abdul Qadirගේ පුත්‍රයා ද වනවා.

පාකිස්තාන වේගපන්දු බලඇණිය දෙසට හැරුණු විට එහි නිත්‍ය පන්දු යවන්නන් වශයෙන් Shaheen Shah Afridi, Naseem Shah හා Haris Rouf තිදෙනා කටයුතු කරයි. මේ අතරින් Shaheen වමත් වේගපන්දු යවන්නෙකු වන අතර ඔහු කණ්ඩායමේ ප්‍රධාන ආරම්භක වේගපන්දු යවන්නා වශයෙන් කටයුතු කරයි. Haris Rouf යනු වර්තමාන රිද්මය අතින් ඉදිරියෙන් ම රැඳී සිටින වේගපන්දු යවන්නායි.

ආබාධයකට ලක්වීම නිසා විවේකයකින් අනතුරුව Shaheen නැවතත් කණ්ඩායමට එක්ව ඇති අතර මෙවර ඔවුන්ගේ ප්‍රබලතම තුරුම්පුව වන්නේ ද ඔහුයි. සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නන් වන්නේ Mohammad Hasnain හා Mohammad Wasim දෙදෙනායි.

DaillyO

කෙසේ වෙතත් මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩක Shoaib Malik ඇතුළත් නොවීම වඩාත් ආන්දෝලනයකට තුඩු දුන් තීරණය වශයෙන් සඳහන් කළ හැක.

මෙවර තරගාවලියට ඔවුන් එක්වන්නේ වත්මන් ආසියානු අනුශූරයන් ලෙසින්. නමුත් පිතිකරණ අංශයේ ඇතැම් දුර්වලතා නිසා මෑතකාලීනව ඔවුන් යම් පසුබෑම්වලට විටින් විට මුහුණ දීමත් සමඟ ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස ස්ථාවරත්වයක් රඳවා ගැනීමට ඔවුන් අපොහොසත් වුනා. එනමුත් ඕනෑම අවස්ථාවක කණ්ඩායමක් වශයෙන් එකවර නැගීසිටීමේ හැකියාවක් ඔවුන් ඉතිහාසය පුරාවටම ඔප්පු කර පෙන්වා තිබෙනවා.

කෙසේ නමුත් එංගලන්තය සමඟ නිමා වූ තරග 7කින් සමන්විත දීර්ඝ T20I තරගාවලිය 4-3ක් වශයෙන් පරාජය වීමත් සමඟ ඔවුන් මෙවර තරගාවලියට එක්වන්නේ යම් පීඩනයක් ද සහිතවයි.

සමස්තයක් වශයෙන් නවක ක්‍රීඩකයන් බහුතරයක එකතුවකින් සැදුම්ලත් මෙම පාකිස්තාන කණ්ඩායමේ මෙවර ප්‍රධානතම අවිය වන්නේ ඔවුන්ගේ වේගපන්දු බලඇණියයි. ඒ ඕස්ට්‍රේලියානු තණතිලි වේගපන්දු යවන්නන්ට අතිශයින්ම හිතකර වීම හේතුවෙන්.

මෙම හේතුකාරණා සියල්ලම නිසා විස්සයි විස්ස තරග රටාවේ ප්‍රබලතම කණ්ඩායම්වලින් එකක් ලෙස සැලකෙන පාකිස්තානය මෙවර තරගාවලියේ දී ප්‍රතිවාදී කණ්ඩායම් වලට විශාලතම තර්ජනයක් වනු බව නොඅනුමානය.

පාකිස්තාන සංචිතය: Babar Azam (c), Shadab Khan, Asif Ali, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim, Naseem Shah, Shaheen Shah Afridi, Shan Masood, Usman Qadir.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<