ආසියානු ක්‍රිකට් කිරුළ අභියස සිට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

242
Sri Lanka vs Pakistan - Final Preview

2022 ආසියානු ක්‍රිකට් කුසලානයේ හිමිකාරිත්වය ශ්‍රී ලංකාවට ද, පාකිස්තානයට ද යන්න තීරණය කෙරෙන අවසන් මහා තරගය අද (11) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන තරගාවලියේ අවස්ථා 3ක දී අවසන් මහා තරගවලට පිවිස ඇති අතර එහි දී ශ්‍රී ලංකාව විසින් 1986 සහ 2014 වසරවල දී ජයග්‍රහණය ලබා ගත් අතර පාකිස්තානය 2000 වසරේ දී ජයග්‍රහණය කළා. ඒ සියලු තරග එක්දින පන්දුවාර 50 තරග වන අතර විස්සයි විස්ස තරගයක දී දෙරටේ ක්‍රීඩකයෝ අවසන් මහා තරගයකට හමුවන පළමු අවස්ථාවයි මේ.‍

ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු කුසලාන 5ක් සහ අනුශූරතා 6ක් දිනා ගනිද්දී, පාකිස්තානය ආසියානු කුසලාන 2ක් සහ අනුශූරතා 2ක් දිනා තිබෙනවා. එමෙන් ම ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලි 12ක දී අවසන් මහා තරගය සඳහා සහභාගී වෙද්දී, පාකිස්තානය සහභාගී වෙන්නේ 5 වැනි තරගයටයි.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තවමත් පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්තානයයි. නිමා වූ තරගයත් සමඟින් පාකිස්තානය තරග 13ක් ද, ශ්‍රී ලංකාව තරග 9ක් ද ජයග්‍රහණය කර තිබෙනවා.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, ප්‍රවීන් ජයවික්‍රම, ප්‍රමෝද් මධුශාන්, මතීෂ පතිරණ
  • පාකිස්තාන ක්‍රිකට් සංචිත: Babar Azam (නායක), Shadab Khan (උප නායක),Mohammad Rizwan, Iftikhar Ahmed, Khushdil Shah, Fakhar Zaman, Shahnawaz Dahani, Mohammad Nawaz, Naseem Shah, Asif Ali, Haris Rauf, Mohammad Hasnain, Haider Ali, Hasan Ali, Usman Qadir, Mohammad Wasim, Shaheen Shah Afridi

අවසන් මහා තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නොකඩවා තරග 4ක් ජයග්‍රහණය කරමින් යහපත් මානසිකත්වයෙන් යුතුවයි මෙම තරගයට එක් වන්නේ. එබැවින් පෙර ජයග්‍රාහී එකී තරගවල දී සේ ම කාසියේ වාසිය තමන් වෙත නතු වෙන්නේ නම් හඹා යෑමේ ඉනිමකට අවතීර්ණ වීමකට දසුන් ශානක කැමති වේ යැයි සිතේ.

ඒ ගමනේ පිතිකරු ලැයිස්තුව සැකසීමේ දී පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක මෙන් ම ධනුශ්ක ගුණතිලකට වැඩි වගකීමක් හිමි වෙනු නියතයි. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ පිතිකරණ ලතාව කණ්ඩායමේ ශක්තිමත් අඩිතාලමයි. පළමු පන්දුවාර කිහිපයේ දී සේ ම ඊට පසුව ඔහුගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය මෙම තරගයේ දී ද අවැසි ම දෙයක්.

ඊට වඩාත් හේතු වන්නේ අංක 2 කඩුල්ලේ සබඳතාවන් තවමත් ජයග්‍රාහී ලකුණු පුවරුවකට අවැසි ආකාරයෙන් එක් නොවීමයි. මේ දක්වා නිමා වූ තරග 5 දී ම මෙම කඩුල්ලට එක් වී ඇති ලකුණු සංඛ්‍යාව 22ක් පමණයි. එය තවත් ලිහිල් ව සටහන් තබන්නේ නම් පළමු තරගයේ දී 0 (1), දෙවැනි තරගයේ දී 3 (3), තෙවැනි තරගයේ දී 18 (15), සිව්වැනි තරගයේ දී 0 (3) සහ පස් වැනි තරගයේ දී 1 (6)ක් ලෙසයි. මෙහි පන්දුවල එකතුව 28ක්.

එබැවින් අද තරගයේ දී අංක 1 ස්ථානයෙන් පිටියට පිවිසෙන්නේ පෙර තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ද එසේත් නොමැති නම් ඊට පෙර තරග 4ට ක්‍රීඩා කළ චරිත් අසලංක යන්න ප්‍රශ්නාර්ථයකි.

මාගේ තීරණය නම් චරිත් අසලංකට මෙම තරගයේ දී අවස්ථාවක් දිය යුතුය යන්නයි. ඒ අසාර්ථක වූ සෑම අවස්ථාවක ම එළියේ සිට නැවත පැමිණි චරිත් ඉන් අනතුරුව සාර්ථක වී ඇති බැවිනි. ධනංජයට ද තමන්ට ලද අවස්ථාවේ දී තමන් ඊට වඩාත් සුදුස්සා ලෙස හැඟවීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ අතර පෙර තරගයේ දී තම සුපුරුදු දක්ෂතා අතරට පිවිසි වනිඳු හසරංග ද කණ්ඩායමේ ජයග්‍රාහී උත්තේජනය තීව්‍ර කිරීමේ සාධකයක් බවට පත් වූවා. ප්‍රතිවාදී කණ්ඩායම පාලනය කිරීමේ දී, පන්දු රැකීමේ දී සේ ම හඹා යෑමේ දී ද වනිඳු පෑ දක්ෂතා තරගයක ජයග්‍රහණයකට අවශ්‍ය ම නියමයන්. එය මෙම තරගයේ දී ද බලාපොරොත්තු වෙමු.

පෙර තරගයේ ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් වේග පන්දු යවන ප්‍රමෝද් මධුශාන්ගේ  දක්ෂතා ද අගේ කළ යුතුයි. එහෙත් ප්‍රතිවාදීන් ග්‍රහණය කර ගැනීමේ පෑ දුර්වලතා ඔහුට තව දුරටත් හැදෑරිය යුතු වෙනවා. එබැවින් මෙම තරගයට පෙර තරගයේ දී විවේක ගන්නා සිටි අසිත ප්‍රනාන්දු නැවත කණ්ඩායමට කැඳවෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ඔහු සමඟ වේගපන්දු බල ඇණිය ශක්තිමත් කිරීමට චාමික කරුණාරත්න සහ ඩිල්ශාන් මධුශංක ද, දඟපන්දු යවන්නෙක් ලෙසින් මහීෂ් තීක්ෂණ ද අද තරගයට කැඳවීමේ වැඩි ඉඩ කඩක් තිබේ.

සහභාගී විය හැකි යැයි විශ්වාස කරන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මධුශංක.

පාකිස්තානය මෙම තරගයට අවතීර්ණ වන්නේ පසුගිය සිකුරාදා තරගයෙන් ලත් පාඩම් ද සමඟින්. එබැවින් ඔවුන් මෙම තරගයේ දී තම අඩු-පාඩු අවම කර ගනිමින් පිටියට පිවිසීමේ වැඩි ඉඩ-කඩක් විවර වෙනවා.

ඔවුන්ගේ කඩා වැටෙන මැදපෙළ ශක්තිමත් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්ය වෙනු ඇත. ඊට වෙනත් ආදේශකයන්ට වඩා ඔවුන් විශ්වාස කරතැයි සිතෙනුයේ පෙර ක්‍රීඩා කළ කණ්ඩායම ම අද තරගයට ද කැඳවීමයි.

ඒ අනුව ඔවුන් මෙම තරගයේ දී ඔවුන්ගේ මැද පෙළට වඩා ඉදිරිපෙළ පිතිකරුවන් කෙරෙහි තවදුරටත් විශ්වාසය තබමින් කණ්ඩායම නම් කරනු නියතයි. මේ අතරින් ඔවුන් සතු වඩාත් ශක්තිමත් ම සෙන්පතියා වන්නේ මෙවර තරගාවලියේ තරග 5ක දී ලකුණු 226ක් ලබා සිටින ආරම්භක පිතිකරු Mohammad Rizwan.

එමෙන් ම මෙතෙක් හරි හැටි ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නායක Babar Azam ද මෙම තරගයේ දී බොහෝ විට අළු ගසා දමා නැගිටීමට වැඩි ඉඩ කඩක් පවතී. එබැවින් ඔවුන් ආරම්භයේ දී ම පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුයි.

පාකිස්තාන පන්දු යවන්නන් අතුරින් වඩාත් පරිස්සම් විය යුතු වන්නේ පා දඟපන්දු යවන්නන් වන Mohammad Nawaz සහ Shadab Khan වෙතින්. ඔවුන් තරගාවලිය පුරා පෑ දක්ෂතා මෙම තරගයේ දී උපයෝගී කර ගනු නියතයි.

සහභාගී වනු ඇතැයි විශ්වාස කරන පාකිස්තාන කණ්ඩායම: Babar Azam (නායක), Mohammad Rizwan, Fakhar Zaman, Iftikhar Ahmed, Shadab Khan, Mohammad Nawaz, Asif Ali, Khushdil Shah, Haris Rauf, Naseem Shah, Mohammad Hasnain

මේ දක්වා පැවති තරගවල පෞද්ගලික දක්ෂතා මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වඩා පාකිස්තාන ක්‍රීඩකයෝ ඉදිරියෙන් පසුවීම ගැන අපට දෙවරක් සිතීමට සිදු වෙනවා. එබැවින් ඔවුන්ට විශාල ලකුණු ප්‍රමාණයකට හෝ අනපේක්ෂිත කඩුලු දඩයමකට යා නොදීමේ වගකීම අප ක්‍රීඩකයන් සතුයි.

එවන් ගමනක අවසානයේ ආසියානු ක්‍රිකට් කුසලානය 6 වැනි වරටත් අපේ රට ට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවා යන්න, ThePapare.com බලාපොරොත්තුව සේ ම ඊට සුබ පැතුම් ද එක් කරමු.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<