බහරේනයට තවත් ආසියානු පදක්කමක් අහිමි වෙයි

308
Hassan Chani

තහනම් උත්තේජක පරීක්ෂණ අසමත් වීම නිසාවෙන් ආසියානු පදක්කම් ලාභී බහරේන් ජාතික දිගුදුර ධාවන ශූර Hassan Chani හට වසර හතරක තරග තහනමක් පැනවීමට තීරණය කළ බව Athletics Integrity ඒකකය ඊයේ (16) නිවේදනය කරන ලදි.

2018 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 10,000 ඉසව්වේ දී කෙන්යානු මලල ක්‍රීඩක Abraham Cheroben පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට Hassan Chani සමත් වූ නමුත් මෙම තහනම් උත්තේජක තහනමත් සමඟින් ඔහුට එම පදක්කම අහිමිව යනු ඇත.

ඒ අනුව Hassan Chani හට 2024 දක්වා බලපැවැත්වෙන පරිදි මලල ක්‍රීඩා තහනමක් පැනවෙන අතර ඔහු විසින් 2017 වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා ලබා ගත් ජයග්‍රහණ සියල්ලම අවලංගු වන නිසාවෙන් 2019 වසරේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 10,000 ඉසව්වෙන් ඔහු දිනා ගත් රිදී පදක්කම ද ඔහුට අහිමි වනු ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්

ඔහුගේ ජයග්‍රහණය අහිමි වීමත් සමඟ එම තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත් බහරේන් ක්‍රීඩක Abraham Cheroben හට තරගයේ රන් පදක්කමත්, ඉතියෝපියාව නියෝජනය කරන Tamirat Tola සහ Yigrem Demelash හට පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කමුත් හිමිවීමට නියමිතව ඇත.

මේ වන විට 32 වැනි වියෙහි පසුවන Hassan Chani බහරේන් දේශය නියෝජනය කරමින් දිගුදුර ධාවන පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ අතර 2016 වසරේ බහරේන් නියෝජනය කරමින් ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ද ඔහු සහභාගි විය.

මෙම පදක්කම අහිමි වීමත් සමඟ බහරේන් දේශයට පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ දිනා ගත් පදක්කම් අතරින් අහිමි වූ තෙවැනි පදක්කම මෙය වන අතර මීට පෙර මීටර් 400X4 මිශ්‍ර සහය දිවීමේ සහ මීටර් 400 කාන්තා කඩුලු පැනීම ඉසව් හි ජයග්‍රහණය කළ රන් පදක්කම් ද්විත්වයම තහනම් උත්තේජක භාවිතය නිසාවෙන් ඔවුන්ට අහිමි විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<