Quinton de Kockගේ තීරණය ගැන Amla දෙගිඩියාවෙන්

6088

දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක සහ සුපිරි පිතිකරු Quinton de Kock ටෙස්ට් පිටියට සමුදෙන බව පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළා. ඒ පෞද්ගලික හේතූන් මතයි.

කෙසේ වෙතත් ඔහු එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කරන බව පවසා තිබුණා. Quinton de Kockගේ සමුගැනීම බොහෝ දෙනා විමතියට පත්කළ පුවතක් වූ අතර ඔහුගේ අහිමි වීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල කරන බව බොහෝ දෙනාගේ මතය වී තිබුණා. මේ පිළිබඳව හිටපු දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක Hashim Amla ද සිය අදහස් දක්වා තිබුණා.

පළපුරුදු Quinton de Kock හදිසි විශ්‍රාම ගැනීම දුර්වල වී ඇති දකුණු අප්‍රිකානු පිතිකරණය තවත් දුර්වල වී ඇති බව Hashim Amla පවසනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ දිනවල ඉන්දීය තරග සංචාරයක් සඳහා එක්ව සිටින අතර එම තරගාවලිය 1-0ක් ලෙස පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවක Quinton de Kock මෙලෙස සමුගැනීම කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල කරන බව Amlaගේ මතය වී තිබෙනවා.

අපේ කණ්ඩායමේ මැදපෙළ සිටින හොඳම පිතිකරුවන් දෙදෙනා වන්නේ Temba Bavuma සහ Quinton de Kock. දැන් Quinton de Kock ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වුනාම මේ පිතිකරණ ලැයිස්තුව තවදුරටත් අඩපණ කරනවා.

මේ තත්වය එක්ක වෙන කවරදාකටත් වඩා Tembaට ලොකු වගකීමක් එනවා හොඳ පිතිකරණයක යෙදෙන්න. ඒ වගේම ඔහුට පිතිකරණයේ ඉහළට එන්න වෙනවා. අංක 3 හෝ 4 විදිහට. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඔහුට ඉනිම ශක්තිමත් කිරීමේ කාර්යභාරයක් වගේම ඉනිම බේරාගැනීමේ කාර්‍යත් පැවරෙනවා”, Sport24 වෙත අදහස් දක්වමින් Amla පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, Amla පවසා සිටියේ එක් තරගයක් පරාජය වුවත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගාවලිය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතින බවයි. දකුණු අප්‍රිකාව මේ දක්වා සිය රටේ කිසිදු ටෙස්ට් තරගාවලියක් ඉන්දියාව හමුවේ පරාජය වී නොමැති අතර එම වාර්තාව තවදුරටත් තබා ගත හැකි බව Amlaගේ විශ්වාසයයි.

නිසැකවම ආපසු ජයග්‍රහණයට යන්න පුළුවන් මාර්ගයක් තියනවා. නමුත් ඒකට දීර්ඝ කාලයක් එකම අවධානයෙන් ක්‍රීඩා කරන්න ඕනේ. ඒ වගේම තරමක වාසනාවකුත් අවශ්‍ය වෙනවා”, Amla පවසා සිටියා.

නායක Dean Elgar සහ Eiden Markram කියන්නේ විශිෂ්ට මට්ටමේ ක්‍රීඩකයන්. ඔවුන්ට ලකුණු ලබාගන්න ලොකු හැකියාවක් තියනවා. ඔවුන් හොඳින් ක්‍රීඩා කරන්න පටන් ගත්තොත් ඒක නිසැකවම පීඩනය ලිහිල් කරනවා. ඒ වගේම කණ්ඩායමට අවශ්‍ය විශ්වාසය ලබා දෙනවා”, Amla තවදුරටත් පවසා සිටියා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එහි දී දකුණු අප්‍රිකාව ලකුණු 197කට සහ 191කට දැවී ගිය අතර ඔවුන්ට ඉන්දියාව හමුවේ ලකුණු 113ක පරාජයක් අත්විඳින්නට සිදු වුනා.

ටෙස්ට් ලකුණු 9000කට වඩා රැස් කර ඇති සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ද දැරූ Amla ඉන්දියාව සමඟින් පැවති ආරම්භක තරගයේ ප්‍රතිඵලය සාධාරණ බව පිළිගෙන තිබුණා.

සෙන්චූරියන් තණතීරුව ගැන අපි දන්නවා. තරගයේ 3 සහ 4 වැනි දිනය වෙද්දී ලකුණු ලබාගන්න අමාරුයි. ඉන්දියාව කාසියේ වාසිය ජයග්‍රහණය කරලා පළමු ඉනිමේ දී ම ලකුණු 300 පසු කළා කියන්නේ ජයග්‍රහණය ගොඩක් අමාරු ඉලක්කයක් වෙනවා. දකුණු අප්‍රිකාවට තරගයක් දෙන්න නම් ඒකට සමාන ලකුණු ලබාගන්න අවශ්‍ය වුනා. ඒත් අපි ලකුණු 130ක් පසුපසින් හිටියේ. අවසානයේ දී වෙනස වුනේ ඒක”, Amla පවසා සිටියා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට (3) ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<