ලෝක ප්‍රකට වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ්, ශ්‍රී ලංකා කණ්ඩායමට මාස දෙකක කාලයක් සඳහා වේගපන්දු පුහුණුකාරීත්වය ලබා දීමේ අභියෝගය අද (02) සවස පැවති මාධ්‍ය හමුවක දී නිල වශයෙන් භාර ගත්තේය. මේ හමුව, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී පැවැත්විණි.

වේගපන්දු පුහුණුකරු ලෙස ඇලන් ඩොනල්ඩ්

හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් එළඹෙන ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරු ලෙස පත්කර ඇත.

“අපට හැකි සෑම අංශයකින්ම ජාතික කණ්ඩායමේ ශක්තිය වැඩි කරන්න ඕනය කියන දැක්මෙන් තමයි අපි ඉන්නේ. ඒ නිසා පියවරෙන් පියවර අපි සැලසුම් කළේ මේ ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කරන්නටයි. ඉතින් එංගලන්තයේ දී අපේ වේගපන්දු යවන්නන්ට උදව් කරන්න ඇලන් ඩොනල්ඩ්ට වඩා හොඳ කෙනෙක් ඉන්නව ද මම දන්නේ නෑ.” ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එසේ පැවසීය.

වසර 12ක ජාත්‍යන්තර තරග දිවියේ දී ඩොනල්ඩ් විසින් කඩුලු 272ක් බිඳ දමා ඇත. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මැයි 09 වැනිදා සිට16 වැනිදා දක්වා පල්ලෙකැලේ දී සහභාගී වන නේවාසික පුහුණුව සඳහා එක්වේ.

ICC ශූරයන්ගේ කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සම්පත් දායකයන්,

  • කණ්ඩායම් කළමණාකරු – අසංක ගුරුසිංහ
  • සංචාරක කළමණාකරු – රන්ජිත් ප්‍රනාන්දු
  • ප්‍රධාන පුහුණුකරු – ග්‍රැහැම් ෆෝඩ්
  • විශේෂඥ වේගපන්දු යවන්නන් පුහුණුකරු – ඇලන් ඩොනල්ඩ්
  • පන්දු රැකීමේ පුහුණුකරු – නික් පෝතස්
  • ශාරීරික යෝග්‍යතා පුහුණුකරු – නික් ලී
  • භෞත චිකිත්සක – අජන්ත වත්තේගම
  • විශ්ලේෂක – ශ්‍රීරාම් සෞම්‍යජාලා
  • රොෂාන් ප්‍රියදර්ශන – සම්භාහක

“ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ වැඩ කටයුතු කරන්නට ලැබීම මම ගෞරවයක් ලෙස සලකනවා. මං හිතන්නේ එංගලන්තයේ ක්‍රීඩා කිරීම වෙනස් අභියෝගයක්. මේ තරගාවලිය (ශූරයන්ගේ කුසලානය) සමාව නොදෙන සුළුයි. මොකද, ඔබ වැරැද්දක් කළොත් ඊළඟ මොහොතේම ඔබ ඉන් ඉවත්වෙන්න පුළුවන්. මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය දිනන්න අවශ්‍ය දේවල් තියෙනවා.” විශේෂඥ වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් එසේ කීවේය.

ජාත්‍යන්තර කණ්ඩායමක් සමඟ ඩොනල්ඩ් එක්ව කටයුතු කරන පස්වැනි අවස්ථාව මෙයයි. දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව, ඔහුගේ වේගපන්දු පුහුණුකාරීත්වය ලද අනෙකුත් ජාත්‍යන්තර කණ්ඩායම් වේ. ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් සහ පූනේ වොරියර්ස් යන කණ්ඩායම් ද ඔහුගේ පුහුණුකාරීත්වය ලබා ඇත.

Photos : Consultant Fast Bowling Coach – Allan Donald – Press Conference

“2003 වසරේ දී සත්කාරකයන් වශයෙන් සිට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වීම සතුටුදායක අත්දැකීමක් නොවෙයි. ඒ දකුණු අප්‍රිකා ක්‍රිකට් වලට නරකම කාලයක් වුණා. මං ගොඩාක් කණගාටුදායක අත්දැකීම් පහුකළ කෙනෙක්. 1999 ලෝක කුසලානය තමයි මගේ කණගාටුදායකම තරගාවලිය.” ICC ප්‍රධාන තරගාවලිවල දී දකුණු අප්‍රිකාව අසමත් වීම පිළිබඳව ඩොනල්ඩ් අදහස් දැක්වූයේ එසේයි.

ඔහු මෙරට සිටින කෙටි කාලය තුළ දී නැගී එන යොවුන් කණ්ඩායම සමඟ ද කටයුතු කිරීමට ඩොනල්ඩ් එකඟ වී ඇත. කෙන්ට් ප්‍රාන්තයේ සහාය පුහුණුකාරිත්වය දැරූ ඔහුට මේ තරගවාරයේ දී එම අවස්ථාව අහිමි වූයේ මහා බ්‍රිතාන්‍යයේ රැකියා අවසරපත ලබා ගැනීමට ඔහු අසමත් වූ බැවිනි. 2018 වර්ෂයේ දී ඔහු නැවතත් එහි වැඩ භාර ගැනීමට නියමිතයි.

“මාලිංග දන්නවා ලංකාව වෙනුවෙන් ප්‍රශස්ත මට්ටමේ දී ඔහු කරන්න ඕනේ මොනවද කියලා. ඔහු පන්දු යැවීමේ බල ඇණියට ලෝක මට්ටමේ මඟ කියන්නෙක්, ශක්තිමත් චරිතයක්. ඔහු දන්නවා මේ තරගාවලියේ ඉදිරියට යන්නට ශ්‍රී ලංකාව කළ යුත්තේ මොනවද කියලා. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය ගැන තමයි ඔහු දැනට අවධානය යොමු කළ යුත්තේ. විස්සයි විස්ස රටාව ඔහුව මනින්නට හොඳම තැන නෙමෙයි. නමුත් මාලිංගගේ දක්ෂතාවය සහ ප්‍රතිරූපය ගැන මට කිසිම සැකයක් නැහැ.” වසර කිහිපයක නිහැඬියාවකින් පසු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පිවිසෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ගැන ඩොනල්ඩ් එසේ අදහස් පළකළේය.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට