“Virat Kohliගේ තීරණය අපිව පුදුමයට පත්කළා” – Chetan Sharma

3523

ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli විස්සයි විස්ස නායකත්වයෙන් සමුගැනීමෙන් අනතුරුව එක්දින නායකත්වයෙන් ද ඉවත් කිරීම පිළිබඳව පසුගිය කාලය තුළ බොහෝදෙනාගේ අවධානය යොමුව තිබුනා. දීර්ඝ විරාමයකින් අනතුරුව එම තීරණය පිළිබඳව ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානියා පසුගියදා අදහස් දක්වා සිටියා.

Virat Kohli එක්දින නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානි Chetan Sharma පවසා සිටියේ Virat Kohli විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ද ඔහු ඉවත් කිරීමට ගත් තීරණය ඔහුගේ මණ්ඩලය විසින් ගත් සාමූහික තීරණයක් බව‍යි.

එහි දී තේරීම් කමිටුව මෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති Saurav Ganguly ඇතුළු අදාළ රැස්වීමට පැමිණ සිටි සියලු දෙනා Virat Kohliගේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටි බව Chetan පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඉන්දීය කණ්ඩායම මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා සූදානම් වන අතර ඒ සඳහා සංචිතය ප්‍රකාශයට පත්කිරීමේ දී සීමිත පන්දුවාර සංචිතය සඳහා එක් නායකයෙකු සිටීම වඩාත් සුදුසු බව තේරීම් කමිටුවේ තීරණය වූ බව Chetan Sharma පවසා සිටියා.

ඒක අමාරු තීරණයක්. නමුත් තේරීම් කමිටුවක් විදිහට අපිට දැඩි තීරණ ගන්න වෙනවා. ක්‍රීඩා කරන එකොලොස්දෙනා තීරණය කරද්දිත් ඔබට දැඩි තීරණ ගන්න වෙනවා. ඉදිරි දිනවල දී සහ ඉදිරි වසරවල දී Virat අපිට වැදගත් ක්‍රීඩකයෙක්. ඒක අපි දන්නවා.

පසුගියදා නිමා වූ 2021 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරාතුව තමන් ඉන්දීය විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වන බව Virat Kohli නිල වශයෙන් නිවේදනය කර තිබුනා. Virat Kohliගේ එම ප්‍රකාශය රැස්වීමට පැමිණ සිටි තේරීම් කමිටු නිලධාරින් සහ ඉන්දීය ක්‍රිකට් ආයතන නිලධාරින් පුදුමයට පත් කළ බව Chetan පවසා තිබෙනවා.

රැස්වීම ආරම්භ වුනාට පස්සේ ඔහු නායකත්වයෙන් ඉවත් වන බව අපිට කිව්වා. ඒක අපි සියල්ලන්ටම පුදුමයක් වුනා. ලෝක කුසලානයට දින කිහිපයකට පෙර ඔහු වගේ තීරණයක් ගැනීම ගැන අපි පුදුම වුනා. Chetan පවසා සිටියා.

Virat Kohliගේ තීරණය අපිට කිව්වාට පස්සේ රැස්වීමේ සිටි සියලු දෙනාම කිව්වා ඔහුට ඔහුගේ තීරණය ගැන සිතා බලන්න කියලා. වගේම ඔහුට වගේ තීරණයක් ගන්න පුළුවන් නම්, ලෝක කුසලානයෙන් පස්සේ අපිට ගැන කතා කරන්න පුළුවන් කියලා අපි කිව්වා. තේරීම් කමිටුව විදිහට Virat Kohliගේ මේ තීරණය ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායමේ දක්ෂතාවයට බලපානු ඇතැයි අපිට හිතුනා. අපි ගැන හිතලා Viratට කිව්වා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායකයා ලෙස දිගටම කටයුතු කරන්න කියලා.”

එතන හිටපු තේරීම් කමිටු නිලධාරින් වගේම එහි සිටි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරින් ඇතුළු හැමෝම කිව්වේ ඔහුට ඔහුගේ රසික රසිකාවියන් ගැන හිතලාවත් නායකත්වයේ ඉන්න කියලා. ඔහු ගන්න තීරණ වලට අපි ගරු කරනවා. ඒත් ගැන තව පාරක් හිතන්න කියලා එදා හැමෝම කිව්වා.”  

Virat Kohli විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වූ පසු Virat Kohliගේ එක්දින නායකත්වයේ අනාගතය පිළිබඳව ද තේරීම් කමිටු නිලධාරින්ට තීරණයක් ගැනීමට සිදු වූ බව Chetan Sharma පවසා සිටියා. Virat Kohli සහ තමන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහුට ඒ බව දැනුම් දුන් බවත් තේරීම් කමිටුවේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

තේරීම් කමිටුව විදිහට අපි තීරණයකට ආවා එක් සීමිත පන්දුවාර නායකයෙකු විතරක් ඉන්න ඕනේ කියලා. තීරණය ගත් විගසම මම හවස Viratට කතා කළා. එදා අපේ රැස්වීම තිබුනේ ටෙස්ට් කණ්ඩායම තෝරාගන්න. නිසා රැස්වීමේ දී ඔහුව දැනුවත් කිරීමට අපට අවශ්‍ය වුනේ නැහැ. රැස්වීමෙන් පස්සේ අපි අපේ තීරණය ඔහුට කිව්වා. අපි හොඳ සංවාදයක නිරත වුනා. වගේම ඔහු අපේ තීරණයට එකඟ වුනා.”

70.43%ක සුවිශේෂී ජයග්‍රහණ ප්‍රතිශතයක් සමඟින් නායකත්ව භූමිකාවෙන් Kohli ඉවත්ව ගිය අතර එය තරග 10කට වැඩි ගණනක දී ඉන්දීය ජාතික කණ්ඩායමට නායකත්වය දුන් එක්දින නායකයකුගේ වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතය ලෙස වාර්තා වුනා.

සමස්තයක් ලෙස ඔහු තරග 95ක දී ඉන්දියාව ජයග්‍රහණ 65ක් කරා ගෙන ගොස් තිබුනා. 2017 වසරේ දී M. S. Dhoniගේ එක්දින නායකත්වයේ අවසානයත් සමඟින් නායකයා ලෙස පත් වූ Kohli, එංගලන්තයට එරෙහිව 2-1ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් සමඟින් සිය ගමන ආරම්භ කළා. ඔහුගේ මේ කතාව අවසන් වූයේ ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහණ 15ක් සිය ජයග්‍රහණ මල්ලට එක් කරගනිමින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<