පෙරළිකාර ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

1009
ACC

9 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (30) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුනා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති එම තරගයෙන් ලකුණු 22ක සුපිරි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. අනෙක් අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

ඩුබායි හිදී නොකඩවා සිව්වැනි වරටත් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළා.

ශ්‍රී ලංකා පිතිකරුවන් තරගාවලිය පුරාවට සාජා තණතීරුවේ දී ඉතාමත් හොඳින් සාර්ථක වෙමින් ලකුණු 300 සීමාව අභිබවා යාමට ගැනීමට සමත් වුනා. නමුත් මේ තරගයේ දී ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණයි.

ශ්‍රී ලංකා පළමු කඩුලු 8 ලකුණු 70ක් තුල දවා ගනිමින් ශ්‍රී ලංකාව අසීරු මට්ටමකට ඇද දැමීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වුවත්, වේගපන්දු යවන ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ සමඟ එකතු වූ මතීෂ පතිරණ 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එය ශ්‍රී ලංකා ඉනිමේ ගොඩනැංවුණු හොඳම සබඳතාවය වුනු අතර 4 පහර 5ක් එල්ල කරමින් පන්දු 33ක දී ලකුණු 31ක් ලබා ගත් පතිරණ 9 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 81ක් සඳහා ආරක්ෂිතව මුහුණ දුන් යසිරු එක් පසෙකින් කඩුල්ල රැකගෙන නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා. ඔහුගේ එම ඉවසිලිවන්ත ඉනිම සඳහා එකඳු 4 පහරක් හෝ 6 පහරක් ඇතුළත් නොවීම කැපී පෙනුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ තරගයේ දී ලබා ගත් සමස්ත ලකුණු ප්‍රමාණයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් (ලකුණු 77) ලබාගෙන දස්කම් දැක්වූයේ අවසන් කඩුලු 2 තුල වීම විශේෂත්වයක්.

මතීෂ සහ යසිරුට අමතරව කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාර ලකුණු 13ක් ලබාගෙන ශ්‍රී ලංකා මුල්පෙළ සවිමත් කළා. පන්දු යැවීමේ දී Zeeshan Zameer ලකුණු 32කට කඩුලු 4ක් දවා ගන්නා විට, Ahmed Khan සහ Awais Ali අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අපරාජිත පාකිස්තානු කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දීමට ශ්‍රී ලංකාව සමත් වුනු අතර පාකිස්තානය සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 125ක් පමණයි.

පන්දු යැවීමේ දී ට්‍රෙවින් මැතිව් සහ නායක දුනිත් වෙල්ලාලගේ පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

අවම ලකුණක් රැක ගැනීමේ අදිටන ඇතිව පන්දු යැවීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසානය දක්වා ඉතාමත් හොඳින් හැසිරවීමට නායක වෙල්ලාලගේ සමත් වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස පළමු කඩුලු 3 ලකුණු 10ක් තුල දවා ගත් ශ්‍රී ලංකාව හිසරදයක් වුනු Ahmed Khan, Muhammad Shehzad ලකුණු 30 සීමාව ඉක්මවා ගියත් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ඒ කිසිදු ඉනිමක් හෝ ප්‍රමාණවත් වුනේ නැහැ.

ශ්‍රී ලංකාව – 147 (44.5): යසිරු රොද්‍රිගෝ 31*, මතීෂ පතිරණ 31, අංජල බණ්ඩාර 13, Zeeshan Zameer 4/32, Ahmed Khan 2/26, Awais Ali 2/27.

පාකිස්තානය – 125 (49.3): Ahmed Khan 36, Muhammad Shehzad 30, Qasim Akram 19, ට්‍රෙවින් මැතිව් 4/17, දුනිත් වෙල්ලාලගේ 3/31.

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 31 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පස්වැනි අවස්ථාව මෙය වන නමුත් එකඳු අවස්ථාවක හෝ ශූරතාවය දිනා ගැනීමට සමත්ව නැහැ.

එසේම 2018 වසරට පසුව අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමක් පැමිණි පළමු අවස්ථාව මෙයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<