ඉන්දීය නායකයාට අනුව නිපන්දු යැවීම අපරාධයක්

India vs Sri Lanka 2023

1186

ඊයේ (05) ශ්‍රී ලංකාව හමුවේ ලද ලකුණු 16ක පරාජයෙන් පසුව ඉන්දීය නායක Hardik Pandya විසින් ඉන්දීය පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීම තරමක් තදින් විවේචනය කර තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු දෙකක තියුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පැවැත්වුණු දෙවැනි තරගය ලකුණු 16කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කළ අතර, එහි දී ඉන්දීය වේගපන්දු යවන්නන් යැවූ නිපන්දුවලින් ද ශ්‍රී ලංකා ඉනිමට සැලකිය යුතු දායකත්වයක් ලැබුණා.

ඉන්දීය වේගපන්දු යවන්නන් විසින් එහි දී නිපන්දු හතක් යැවූ අතර, එයින් නිපන්දු පහක් ම යැවුවේ Arshdeep Singh විසිනුයි.

ආබාධයකින් පසුව නැවත ජාතික කණ්ඩායමට පැමිණි Arshdeep විසින් සිය පළමු පන්දුවාරය තුල පිට පිට නිපන්දු තුනක් (නිපන්දු Hat-tric එකක්) යැවූ අතර, එවැනි අපකීර්තිමත් වාර්තාවකට හිමිකම් කියූ පළමු ඉන්දීය පන්දු යවන්නා බවට පත් වීමට ද ඔහුට සිදු වුනා.

තරගය අතරතුර දී මෙන්ම තරගයෙන් පසුවත් මෙම නිපන්දු යොමු කිරීම පිළිබඳව ඉන්දීය නායක Hardik Pandya අසතුටෙන් සිටි බව පෙනී ගිය අතර, ඔහු තරගයෙන් පසුව සහභාගී වූ මාධ්‍ය හමුවේ දී ද පවසා සිටියේ නිපන්දු යැවීම අපරාධයක් බවයි.

Arshdeepට මේක ඉතා අසීරු අවස්ථාවක්. මේක ඔහුට බැන වැදීමක් හෝ ඔහුව තවත් අසීරුතාවට කරවන දෙයක් නෙවෙයි. නමුත් අපි දන්නවා ඕනෑම ක්‍රීඩා රටාවක නිපන්දු කියන්නේ අපරාධයක්.

මේ මට්ටමේ දී නොකළ යුතු මූලික වැරදි කිහිපයක් අපි සිදු කළා. හැමෝම දන්නවා ඒ මොනවද කියලා.

අපිට පාලනය කළ හැකි දේවල්වලට අවධානය යොමු කරන්න අපි ඉගෙන ගත යුතුයි. ඔබට හොඳ දවසක් එන්න පුළුවන්, ඔබට නරක දවසක් එන්න පුළුවන්. නමුත් ඔබ ක්‍රීඩාවේ මූලික කරුණු වලින් ඈත් නොවී සිටිය යුතුයි.”

තරගාවලියේ මීළඟ විස්සයි විස්ස තරගය හෙට (07) Rajkot හී දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Time of India ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<