සහෝදර ගැටුමේ ජය හර්දික්ට!

IPL 2023

405

Pandya සොහොයුරන් විසින් නායකත්වය සපයන Lucknow Super Giants සහ Gujarat Titans කණ්ඩායම් අතර IPL තරගයක් ඉන්දියාවේ අහමදාබාද් හිදි අද (07) පැවැත්වුණා.

තරගාවලියේ 51ක් වැනි තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ලක්නව් නායක Kurnal Pandya විසින් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුජරාටයේ සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන Wriddhiman Saha සහ Shubman Gill විසින් පන්දුවාර 12 පන්දු 1ක් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳෙමින් මෙවර තරගාවලියේ දෙවැනි විශාලතම පිතිකරණ සබඳතාව පැවැත්වීමට සමත් වුනේ ගුජරාට් ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 142ක් එකතු කරමිනුයි.

එම ලකුණු 142න් 81ක ම අයිතිය Wriddhiman සතු වූ අතර ඔහු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී යන විට සිය ඉනිම වෙනුවෙන් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත කර ගැනීමට සමත් වී තිබුණා.

නමුත් Sahaගේ දැවී යාම ගුජරාටයේ ලකුණු වේගයට එතරම් බලපෑමක් එල්ල නොකළ අතර, ඉන්පසුව Gill සමඟ එක් වූ නායක Hardik Pandya විසින් ලකුණු 25ක් ලබා ගනිමින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ගුජරාට් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 184ක් වන විට Pandyaගේ කඩුල්ල දවා ගැනීමට Moshin Khan විසින් සමත් වූ අතර පසුව Gill සමඟ කඩුල්ලේ එක් වූ David Miller නියමිත පන්දුවාර 20 අවසන් වන තෙක් නොදැවී සිටීමට සමත් වුනා.

එමෙන් ම ඉනිමේ අවසන් භාගයේ දී Millerගේ පිත්තෙන් ලකුණු 21ක් වාර්තා වූ අතර, ඉනිම පුරාවට ම නොදැවී කඩුල්ලේ රැඳී සිටි Shubman Gillගේ නම ඉදිරියෙන් ලකුණු 94ක් ලියැවී තිබුණා. ඔහු ඒ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 51ක් පමණක් වන අතර, එම පන්දු 51න් 7ක් ම හතරේ සීමාවට ඉහළින් ඇදී ගිය අලංකාර හයේ පහර 7කට සින්න වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට ගුජරාටය විසින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 227ක් ලබා ගැනීමට සමත් වුනා. මෙහි දී ලක්නව් වෙනුවෙන් පන්දු යවන්නන් 8 දෙනෙකු භාවිත කිරීමට Kurnal Pandya හට සිදු වූ නමුත්, ඉන් සාර්ථකත්වයට පත් වීමට සමත් වුනේ එක් කඩුල්ල බැඟින් දවා ගත් Moshin Khan සහ Avesh Khan යුගලය පමණයි.

පසුව ගුජරාටය ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ අරමුණින් යුතු ව Kyle Mayers සහ Quinton de Kock යුගලය පිටියට පිවිසුණු අතර, ගියවර (2022) තරගාවලියේ ලක්නව් වෙනුවෙන් අතිසාර්ථක පිතිකරණයක නියැලීමට සමත් වුන Kock විසින් මෙවර තරගාවලියේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වීම විශේෂ සිදුවීමක් වුනා.

KL Rahulට ඇති වූ ආබාධය නිසා මෙම වෙනස් කම කණ්ඩායමේ සිදු කරමින් Kock-Mayers යුගලය විසින් ලක්නව් ඉනිමට ආරම්භය ලබා දුන් අතර, Rahulගේ අඩුව දශමයකට හෝ දැනෙන්නට ඉඩ නොදුන් ඔවුන් දෙදෙනා විසින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී පන්දු 32කින් ලකුණු 48ක් ලබා සිටි Mayersගේ කඩුල්ල දවා ගැනීමට ගුජරාටයේ ගැලවුම් කරුවන් දෙදෙනෙකු වන Mohit Sharma සහ Rashid Khan යුගලය සමත් වුනා. මෙහි දී Mohit විසින් යැවූ වේගය අඩාල කළ පන්දුවට Mayers විසින් එල්ල කළ පහර අග්‍රගණ්‍ය උඩපන්දුවක් ලෙස රැක ගැනීමට Rashid Khan විසින් සමත් වීම තරගයේ ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට සමත් වුනා.

එතෙක් කිසිදු ගැටලුවකින් තොර ව ලකුණු ලබා ගනිමින් සිටි ලක්නව් ඉනිමේ මීළඟ පන්දු 39 තුල කඩුලු 3ක් බිඳ වැටුණු අතර ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 42ක් පමණයි.

ලක්නව් ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී Marcus Stoinisගේ කඩුල්ල දැවී යන විට ඔවුන්ගේ ලකුණු තත්වය දිස් වුනේ කඩුලු 3කට ලකුණු 130ක් ලෙසයි. ඒ වන විට ඔවුන්ට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 31කින් ලකුණු 98ක් ලබා ගත යුතු ව තිබුණා.

පවතින තත්වය එතරම් ගුණදායක නොවන බව වටහා ගත් එතෙක් කඩුල්ලේ නොදැවී රැඳී සිටි De Kock විසින් වේගයෙන් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ ඉනිම ලකුණු 70ක දී නිමා කිරීමට Rashid Khan විසින් සමත් වුනා.

එතැනින් පසුව ලබා ගත යුතු පන්දු සහ ලකුණු අතර පරතරය වැඩි වීමෙන් ලද පීඩනය නිසා ලක්නව් ඉනිමේ කඩුලු තවත් ඉක්මනින් බිඳ වැටුණු අතර, නියමිත පන්දුවාර 20 අවසන් වන විට ලක්නව් කඩුලු 7ක් දවා ගැනීමට ගුජරාට් පන්දු යවන්නන් විසින් සමත් වී තිබුණා.

නමුත් ඒ වන විට ලක්නව් ඉනිමට එක් වී තිබුණේ ලකුණු 171ක් පමණයි. මෙහි දී ගුජරාටය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Mohit Sharma විසින් නියමිත පන්දුවාර 4තුල ලකුණු 29ක් පමණක් ලබ දෙමින් ප්‍රතිවාදී කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව Lucknow Super Giants කණ්ඩායමට එරෙහිව ලකුණු 56ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට Gujarat Titans සමත් වූ අතර, මෙම ජයත් සමඟින් මෙවර තරගාවලියේ ලකුණු සටහනේ පළමු ස්ථානය තව දුරටත් තහවුරු කර ගැනීමට Gujarat Titans සමත් වුනා. එමෙන් ම මෙම තරගය පරාජය වූ නමුත් තවමත් ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටීමට Lucknow Super Giants සමත් වී තිබෙනවා.

  • Gujarat Titans 227/2 (20) Wriddhiman Saha 81, Shubman Gill 94*, Avesh Khan 1/34
  • Lucknow Super Giants 171/7 (20) Kyle Mayers 48, Quinton de Kock 70, Mohit Sharma 4/29, Noor Ahmad 1/26

මෙම තරගයේ වීරයා සම්මානය හිමි වුනේ Shubman Gill හටයි.

මෙවර IPL තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් Sunrisers Hyderabad සහ Rajasthan Royals කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා. එම තරගය මෙන් ම තරගාවලියේ සියලු ම තරඟ සජීවී ව නැරඹීමේ අවකාශය ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<