දෙවැනි T20 තරගයේ දී ඉන්දීය සංචිතයේ වෙනසක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

743

සංචාරක ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී ඇති වූ දණහිසේ ආබාධයක් නිසා ඉන්දීය පිතිකරු Sanju Samson හට තරගාවලියේ ඉදිරි තරග අහිමිව තිබෙනවා.

Samsonගේ ස්ථානය සඳහා කඩුලු රකින පිතිකරු Jitesh Sharma කණ්ඩායමට කැඳවා තිබෙනවා.

පළමු තරගයේ හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටිය දී Sanju Samson මෙලෙස ආබාධයට ලක් වූ අතර තියුණු සටනකින් පසු අවසන් පන්දුවේ දී ලකුණු දෙකක ජයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

“ඉන්දීය කඩුලු රකින පිතිකරු Sanju Samsonට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මීළඟ තරග අහිමි වෙනවා. ඔහු හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටිය දී ආබාධයකට ලක් වුනා. ඔහුව අදාළ පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසුව වෛද්‍ය කණ්ඩායම් තීරණය කළා ඔහුට නැවත සුව වීමට විවේකයක් ලබා දෙන්න ඕන කියලා,” යැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Punjab Kings නියෝජනය කරමින් දැක්වූ දස්කම් නිසා Jitesh Sharmaට මෙම අවස්ථාව හිමිව තිබෙනවා.

පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී තරග 12ක් ක්‍රීඩා කළ ඔහු ලකුණු 234ක් ලබා ගැනීමට සමත් වුනේ 29.25ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ ප්‍රබල කණ්ඩායමක් වන Mumbai Indians ද නියෝජනය කළ ඔහු දේශීය පිටියේ දී Central Zone සහ Vidarbha යන කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද (05) පූනේ හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ පළමු තරගය ජය ගත් ඉන්දියාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<