වසර 30කට පසු ඉතිහාසය වෙනස් කළ කෝඩුකාරයෝ!

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය 2022

224

‘කල් යල් බලා පහර දීම සිංහයන්ගේ පුරුද්දක්’ යැයි අපේ ජනවහරේ පවතින කතාවක්. අනිත් එක තම ගොදුරු බිමට ප්‍රතිවාදියා පැමිණෙන තුරුම ඉවසීම ද ඔවුන්ගේ එක් ගුණාංගයක්.

මේ දෙකම එක් වූ කළ සිංහයා තම ගොදුර බිම දිග්විජය කරනවා. ඒත් ඉතිං ප්‍රතිවාදියා දුර්වල දැයි සැක හැර දැන ගැනීම ද ඔවුන්ගේ පුරුද්දක්.

මේ න්‍යායෙන් බලන කල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සංචාරක ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ ද පෙළහර පාන්නේ මෙවැනිම වූ ක්‍රියාදාමකින් යැයි සිතේ. ඔවුන් වසර ගණනාවක් මේ ජයග්‍රහණය වෙනුවෙන් බලා සිටියා. ඊට තම නිජබිම ම තෝරා ගත්තා. වෙනසකට වී නම් ප්‍රතිවාදියා දුර්වලයෙකු නොවීම පමණයි ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ද්විපාර්ශ්වීය එක්දින තරගාවලියකට අවසන් වරට හමුවෙන්නේ 2016 වසරේ දී. ඊට පසුව ගෙවුනු වසර 6 තුළ දී මෙරට ක්‍රීඩකයන් ද්විපාර්ශ්වීය තරගාවලි 20කට සහභාගී වන අතර ඉන් ජයග්‍රහණය කරන්නේ තරගාවලි 4ක් පමණයි. ඒ ස්කොට්ලන්තය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාවන්ට එරෙහිව. ඒ අතින් බලන කල මේ ලැබූ ජයග්‍රහණය සුවිශේෂී වික්‍රමයක්.

ඕස්ට්‍රේලියාව එසේ නොවේ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හිද අපේ කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිට ඔවුන් මෙරටට පිවිසෙන්නේ ආසන්නතම තරගාවලි 5න් 4ක්ම ජයග්‍රහණය කරමින්.

කෙසේ වෙතත් තරගාවලිය නිමා වෙන්නේ තරග 3-2ක ජයග්‍රහණයක් අපේ සිංහ පෝතකයන්ට හිමි කර දෙමින් පමණක් නොව වැඩිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් ලෙසින් අපේ ක්‍රීඩකයන්ගේ නම් ඉහළින් ලැයිස්තු ගත වෙමින්.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පළමු ස්ථාන තුනම වෙන් කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුනා. ඒ අතර පළමු ස්ථානය තරගාවලියේ වීරයා වූ කුසල් මෙන්ඩිස් සතු කරගත්තා.

ඔහු තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 249ක් රැස් කරගත්තේ නොදැවුන ඉනිම් 2ක් ද සමඟින්. අර්ධ ශතක 2ක් සමඟ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 83.00ක් සහ තරගයක දී වාර්තා කරගත් වැඩිම ලකුණු ප්‍රමාණය නොදැවී ලකුණු 87ක් ලෙසින් ඒ දක්ෂතා ලියැවුනා.

එහි දෙවැනි ස්ථානය හිමි වුනේ පැතුම් නිස්සංකට. ඔහුගේ දක්ෂතාව තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 222ක්. ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ඔහුගේ පිතිකරණයේ දක්ෂතාව 44.40ක්. ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 137ක්.

පැතුම්ගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කෝඩුකාර ශතකය වූ මෙම ශතකය ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙරට ක්‍රීඩකයෙකු එක්දින තරගයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද ඉතිහාසයට එක් වුනා. එතෙක් එම වාර්තාව රැඳී තිබුණේ සනත් ජයසූරිය සතුවයි. ඒ ඔහු 2003 වසරේ දී Sydney හිදී වාර්තා කරන ලද ලකුණු 122යි.

තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර තෙවැනි ස්ථානය චරිත් අසලංක සතු වුනේ තරග 5ක ඉනිම් 5ක දී ලකුණු 187ක් වාර්තා කරගනිමින්. චරිත්ගේ කෝඩුකාර එක්දින ජාත්‍යන්තර ශතකය ද මෙම තරගාවලියේ දී වාර්තා වූ අතර ඔහුගේ පිතිකරණ දක්ෂතාවේ සාමාන්‍ය 46.75ක් බවට පත්ව තිබුණා.

කෝඩුකාර දුනිත් වෙල්ලාලගේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූයේ තම කෝඩුකාර තරගාවලිය අපූරු සිහිවටනයක් ලෙසින් අසුරාගෙනයි. ඔහු තරග 5ක දී පන්දුවාර 37ක් යවමින් ලකුණු 201ක් පමණක් ප්‍රතිවාදීන් හට ලබා දෙමින් කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා. ඔහුගේ තරග දිවියේ හොඳම පන්දු යැවීම අවසන් තරගයේ දී ලකුණු 42කට දවා ගත් කඩුලු 3යි.

වනිඳු හසරංග තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් ලැයිස්තුවේ දෙවැනියා බවට පත්වෙන්නේ තරග 2ක දී පන්දුවාර 19ක් යවමින් කඩුලු 5ක් දවා ගෙනයි. එහි තෙවැනි තැන ධනංජයට හිමි වූ අතර ඔහු තරග 4ක පන්දුවාර 25ක් යවමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. වනිඳු මෙන්ම ධනංජය ද පිතිකරුවන් ලෙසින් අමතක නොවන ඉනිම් ක්‍රීඩා කිරීම මේ තරගාවලි ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වූ බැව් අමතක කළ යුතු නැහැ.

එමෙන්ම තරගාවලිය පුරාම යොවුන් ක්‍රීඩක චාමික කරුණාරත්න දැක් වූ දක්ෂතා සේම සටන්කාමී විලාසයන් වසර ගණනාවක් පුරාම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතක නොවනු ඇත. අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට අත්වන්නට තිබූ අන්ත පරාජයේ අවමානයෙන් බේරා ගනු ලැබුවේ චාමිකයි. ඔහුගේ මුරණ්ඩුකමට එහා ගිය වගකීමක් ඒ කෝඩුකාර අර්ධ ශතක ඉනිමේ රැඳී තිබුණා.

වසර 30කට පසුව ලැබූ ජය

ඕස්ට්‍රේලියාව මේ සංචාරයට එක්වන විට ශ්‍රී ලංකාව වැටී සිටියේ පරාජිත මානසිකත්වයක බැව් නොරහසක්. ඒ වන විට ශ්‍රී ලංකාවට හරිහමන් කණ්ඩායමක් සමඟ තරග කළ නොහැකි යැයි මතය පැටවී තිබුණා. ඕස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ද 2-1ක් ලෙසින් පරාජයට පත්වීම මේ මානසික ඇදවැටීමට තවත් හේතුවක් වූවා.

නමුත් සියලු දේ දසුන් ශානකගේ යොවුන් කණ්ඩායම වෙනස් කළා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව වසර 30කට පසු තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟ තරග 5කින් යුත් තරගාවලියක් පළමු වරට ජයග්‍රහණය කිරීමටත් මේ ක්‍රීඩකයන්ට හැකි වුනා.

ශ්‍රී ලංකාව අවසන් වරට ඕස්ට්‍රේලියාව පරාජය කර තිබුණේ 1992 දී අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේයි.

මෙදා සේම එදා ද අපි සිටියේ තරගාවලි ගණනාවක පරාජයක් විඳිමින්. එය සංඛ්‍යාත්මකව ගතහොත් තරගාවලි 12කට මුහුණ දී ඉන් තරගාවලි 10ක පරාජයක් ලබමින් සහ දෙකක් සම වීමෙන් අවසන් කර ගනිමින්. ඒ වන විට අප අවසන් වරට ජයග්‍රහණයක් හිමි කරගෙන සිටියේ 1983 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 4කින් යුත් තරගාවලිය 2-0කින් ජයග්‍රහණය කරමින්.

1983 තරගාවලිය

මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකයා ලෙස දුලිප් මෙන්ඩිස් කටයුතු කළ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නායකත්වය දැරුවේ Greg Chappell.

මෙකල මෙන් නොව එකල අපි සිටියේ කලාතුරකින් ලැබෙන එක්දින තරගයකට දෙකකට ක්‍රීඩා කරමින්. 1975 පළමු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන අප ඊට පසුව එක්දින තරගයකට ක්‍රීඩා කරන්නේ 1979 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියට. පරතරය වසර 4ක්.

දෙවැනි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව අප රටට ද්විපාර්ශ්වීය තරගාවලි 4ක් ලැබෙනවා. රටවල් පෙළගැස්වීම එංගලන්තය, පාකිස්තානය, ඉන්දියාව සහ නවසීලන්තය වන අතර එහි තරග ප්‍රමාණය 11ක්. ඉන් තරග 2ක් අපේ ක්‍රීඩකයන් ජයග්‍රහණය කරන අතර ඉතිරි තරග පරාජය වෙමින් නිමා වෙනවා.

මේ අඩු අත්දැකීම් හමුවේ ඕස්ට්‍රේලියාව පළමු වරට මෙරට පිවිසෙන්නේ තරග 4ක තරගාවලියක් රැගෙන. එය එතෙක් ප්‍රතිවාදී රටක් අප රටට දුන් වැඩිම තරග සංඛ්‍යාවක තරගාවලියයි.

එම තරගාවලියේ කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 2ක ජයග්‍රහණයක් හිමි කරගන්නා අතර කඩුල්ල පිටුපස සිටිමින් උඩ පන්දු 5ක් රැකගත් ගයි ද අල්විස් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නවා. එය අදටත් ශ්‍රී ලාංකීය කඩුලු රකින්නෙකු ඉනිමක දී දවා ගත් වැඩිම කඩුලු ගණනකට දායකත්වය දැක්වීමේ ලැයිස්තුවේ ඉහළින්ම සටහන් වෙනවා. ඊටපසුව එම දක්ෂතාව පෑමට හෂාන් තිලකරත්න (1990), රොමේෂ් කළුවිතාරණ (1995) සහ කුමාර් සංගක්කාර (2002) සමත් වෙනවා.

එම ක්‍රීඩාංගණයේම පැවති දෙවැනි තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි කරගන්නා අප ක්‍රීඩකයන් අතරින් නොදැවී ලකුණු 55ක් වාර්තා කරගත් අර්ජුන රණතුංග තරගයේ වීරයා වෙනවා.

තරගාවලියේ ඉතිරි තරග දෙක කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් එය අතරමග දී අතහැර දැමීමට සිදුවෙනවා. ඒ වන විට තරග දෙකේ දීම ඕස්ට්‍රේලියානුවන් පළමුව පන්දුවට පහර දෙමින් සිටියා.

තරගාවලිය නිමා වෙන්නේ තරග 4කින් යුත් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරමින්. එය මෙරට එක්දින තරග ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණයයි.

1992 තරගාවලිය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ද්විපාර්ශ්වීය තරගාවලියකට නැවත වතාවක් හමු වෙන්නේ ඉන් වසර 9කට පසුවයි. එවර තරගාවලිය ද පැවැත්වෙන්නේ මෙරටේ දී. තරග 3කින් යුත් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ නායකත්වය අර්ජුන රණතුංග සතු වූ අතර ප්‍රතිවාදී ඕස්ට්‍රේලියා කණ්ඩායම Allan Border විසින් මෙහෙය වූවා.

කොළඹ පී. සරා පිටියේ දී පැවති තරගාවලියේ පළමු තරගය නිමා වෙන්නේ ශ්‍රී ලංකාව කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කරමින්. එම තරගයේ දී ශතකයක් වාර්තා කරන අරවින්ද ද සිල්වා තරගයේ වීරයා බවට පත්වෙනවා.

අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති දෙවැනි තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට සමත් වෙනවා. එම තරගයේ දී නොදැවී ලකුණු 52ක් වාර්තා කරගනිමින් සහ පන්දු යැවීමේ දී දැක් වූ දක්ෂතා ද හේතුවෙන් තරගයේ වීරයා ලෙසින් චන්දික හතුරුසිංහ නම් කෙරුනා.

ඒ වෙද්දී තරග 3කින් යුත් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් ව සිටි අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති තෙවැනි සහ අවසන් තරගයෙන් ප්‍රතිවාදීන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා. එම තරගයේ දී හඹා යන ඉනිමේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් David Boon තරගයේ වීරයා ලෙසින් නම් කෙරුනා.

ඒ අනුව දෙරට අතර තරගාවලිය අවසන් වෙන්නේ තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරමින්.

තරග 5කින් යුත් තරගාවලියන්

නිමා වූ මෙම තරගාවලියට පෙර දෙරට අතර තරග 5කින් යුත් තරගාවලි 3ක් පවත්වා ඇති අතර ඉන් ඕස්ට්‍රේලියානුවෝ සෑම විටකම පෙරමුණ ගැනීමට සමත්ව සිටියා.

2004 වසරේ පැවති පළමු තරගාවලිය ශ්‍රී ලංකාවට 2-3ක පරාජයක්

ශ්‍රී ලංකා නායක – මාවන් අතපත්තු

ඕස්ට්‍රේලියා නායක – Ricky Ponting

  • පළමු තරගය (දඹුල්ල) ඕස්ට්‍රේලියාවට ලකුණු 84ක ජයක්

තරගයේ වීරයා – Brad Hogg

  • දෙවැනි තරගය (දඹුල්ල) ශ්‍රී ලංකාවට එක් ලකුණක ජයක්

තරගයේ වීරයා – චමින්ද වාස්

  • තෙවැනි තරගය (කොළඹ ආර්. ප්‍රේමදාස) ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා – Jason Gillespie

  • සිව්වැනි තරගය (කොළඹ ආර්. ප්‍රේමදාස) ඕස්ට්‍රේලියාවට ලකුණු 40ක ජයක්

තරගයේ වීරයා – Michael Kasprowicz

  • පස්වැනි තරගය (කොළඹ SSC) ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

තරගයේ වීරයා – නුවන් සොයිසා


2011 වසරේ පැවති දෙවැනි තරගාවලිය ශ්‍රී ලංකාවට තරග 2-3ක පරාජයක්

ශ්‍රී ලංකා නායක – තිලකරත්න ඩිල්ෂාන්

ඕස්ට්‍රේලියා නායක – Michael Clarke

  • පළමු තරගය (පල්ලෙකැලේ) ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

තරගයේ වීරයා – Mitchell Johnson

  • දෙවැනි තරගය (හම්බන්තොට) ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක්

තරගයේ වීරයා – Ricky Ponting

  • තෙවැනි තරගය (හම්බන්තොට) ශ්‍රී ලංකාවට ලකුණු 78ක ජයක්

තරගයේ වීරයා – උපුල් තරංග 

  • සිව්වැනි තරගය (කොළඹ ප්‍රේමදාස) ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා – Xavier Doherty

  • පස් වැනි තරගය (කොළඔ ආර්. ප්‍රේමදාස) ශ්‍රී ලකාවට කඩුලු 4ක ජයක්

තරගයේ වීරයා – ලසිත් මාලිංග


2016 වසරේ පැවති තෙවැනි තරගාවලිය ශ්‍රී ලංකාවට තරග 1-4ක පරාජයක්

ශ්‍රී ලංකා නායක – ඇන්ජලෝ මැතිව්ස්

ඕස්ට්‍රේලියා නායක – Steven Smith

  • පළමු තරගය (කොළඹ ආර්. ප්‍රේමදාස) ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්

තරගයේ වීරයා – James Faulkner

  • දෙවැනි තරගය (කොළඹ ආර්. ප්‍රේමදාස) ශ්‍රී ලංකාවට ලකුණු 82ක ජයක්

තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස් 

  • තෙවැනි තරගය (දඹුල්ල) ඕස්ට්‍රේලියාවට කඩුලු 2ක ජයක්

තරගයේ වීරයා – George Bailey 

  • සිව්වැනි තරගය (දඹුල්ල) ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

තරගයේ වීරයා – John Hastings

  • පස් වැනි තරගය (පල්ලෙකැලේ) ඕස්ට්‍රේලියාවට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා – David Warner

ජයග්‍රහණයේ නියමුවන් වූ සියලු දෙනාට ThePapare.com වෙතින් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<