ශ්‍රී ලංකා යෞවනයින් සුපිරි ජයක් සමඟ තරගාවලිය අරඹයි

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

611
Sri Lanka U19 vs Bangladesh U1

වත්මන් 19න් පහළ ලෝක ශූර බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) දඹුල්ලේ දී නිමා වුනා.

එම තරගයෙන් ලකුණු 42ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ, 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ද ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන දුනිත් වෙල්ලාලගේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 228ක් ලබා ගත් අතර වමතින් පිතිකරණයේ නිරත වෙන පවන් පතිරාජ සිය පළමු යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ දී ම අර්ධ ශතකයක් ලබා ගනිමින් දස්කම් අතරට පැමිණීමට සමත් වුනා.

සදීෂ් ජයවර්ධන සහ ජීවක ශෂීන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි නමුත් ඔවුන් දෙදෙනා පන්දු කිහිපයක් සඳහා මුහුණ දෙමින් කඩුල්ල තුල ස්ථාවර වීමට වෑයම් කළත්, එය සාර්ථක කර ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 32ක් තුල දැවී ගොස් යම් අසීරු මට්ටමක සිටි නමුත්, සදීෂ සමඟ එක්වුණු පතිරාජ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 53ක හොඳ සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

එමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් වුනු අතර ලකුණු 28ක් ලබාගෙන සිටි රාජපක්ෂ දැවී යාමත් සමඟ එම සබඳතාවය අවසන් වුනා. රාජපක්ෂගේ එම ඉනිමට 4 පහර 3ක් ඇතුළත් වුනා.

ඉන්පසුව පිටියට පැමිණි උපනායක රවීන් ද සිල්වා ද පතිරාජ සමඟ එක්ව 5 වැනි කඩුල්ල සඳහා තවත් අනගි සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය ලකුණු 80ක් දක්වා දුරකට රැගෙන යාමට ඔවුන් දෙදෙනාට හැකියාවක් ලැබුණා.

කෙසේ නමුත් මහනුවර ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩක පතිරාජගේ දැවී යාමත් සමඟ එම සබඳතාවයට තිත වැටුණා. පතිරාජ සිය ඉනිම සඳහා 4 පහර 5ක් අන්තර්ගත කරගනිමින් පන්දු 88ක දී ලකුණු 67ක් ලබා ගත්තා. රවීන් ද සිල්වා බංග්ලාදේශ නායක Meherob Hasanගේ පන්දුවක් හමුවේ ලකුණු 29කට දැවී ගියා.

අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම සඳහා වේගවත් අවසානයක් ලබා දීම සඳහා මුල පිරූ යසිරු රොද්‍රිගෝ 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින් පන්දු 15කදී නොදැවී ලකුණු 25*ක් ලබා ගත්තා.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව අවසන් පන්දුවාර 4 තුල ලකුණු 33ක් බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් උදුරා ගත්තේ ඉතාමත් හොඳ ලකුණු පුවරුවක් වෙත ඇදී යමිනි.

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන Ripon Mondol ලකුණු 59කට කඩුලු 3ක් දවා ගන්නා විට, Ashikur Zaman ශ්‍රී ලංකා කඩුලු 2ක් තමන් සතුකර ගැනීමට සමත් වුනා.

ලකුණු 229ක තරගකාරී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වුනු Mahfijul Islam සහ Iftikher Hossain සෙමින් සීරුවේ පන්දුවාරයකට අවශ්‍ය දල ලකුණු ලබාගැනීමේ වේගය රඳවා ගනිමින් යම් මට්ටමක සාර්ථක ආරම්භයක් සිය කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ නමුත් ට්‍රෙවින් මැතිව්ස් සහ ශෙවෝන් ඩැනියල් බංග්ලාදේශ පළමු කඩුලු කිහිපය ඉතාමත් ඉක්මනින් දවා ගනිමින් ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය හරවා දීමට සමත් වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සඳහා හිසරදයක් වෙමින් ලකුණු රැස්කළ Aich Mollah පන්දු 93ක් තුල ලකුණු 86ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් දියත් කළ අතර එම ඉනිමට 4 පහර 9ක් ඇතුළත් වුනා. අවසානයේ දී Mollahගේ කඩුල්ල ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දවා ගත්තේ මතීෂ පතිරණයි.

Mollah බංග්ලාදේශ ඉනිම තුල වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටිමින් අනෙක් අන්තයේ පිතිකරුවන් සමඟ යම් සබඳතා කිහිපයක් ගොඩනංවා ගැනීමට වෑයම් කළත්, Ariful Islam සහ Mollah එක්ව ගොඩනැංවූ සබඳතාවය හැර අනෙක් එකඳු සබඳතාවයක් හෝ සාර්ථක වූයේ නැහැ.

Ariful Islam සහ Mollah අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුනු එම ලකුණු 70 සබඳතාවය අවසන් කරමින් ලකුණු 38ක් ලබාගෙන සිටි Islam දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ දුවද්දී දැවී යාමකට හසුකරගෙනයි.

එසේම සමස්තයක් ලෙස රැගෙන බැලූ කළ මේ තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රැකීම ද ප්‍රශස්ත මට්ටමක තිබුණා. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ට්‍රෙවින් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගන්නා විට, ඩැනියල් කඩුලු 2ක් සඳහා හිමිකම් කීවා.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – 228/9 (50): පවන් පතිරාජ 67, රවීන් ද සිල්වා 29, සදීෂ රාජපක්ෂ 28, යසිරු රොද්‍රිගෝ 25*,
  • බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම – 186 (47.2): Aich Mollah 86, Ariful Islam 38, ට්‍රෙවින් මැතිව්ස් 4/29, ශෙවෝන් ඩැනියල් 2/21.

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

දෙරට අතර පැවැත්වීමට නියමිත මීළඟ තරගය මේ මස 18 වැනිදා මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙන අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

>> View Full Scorecard – Sri Lanka U19 vs Bangladesh U19