Gambhir ඇඟිල්ල ඉස්සුවේ රට වෙනුවෙන් ලු!

Asia Cup 2023

7931

හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir විසින් ඊයේ (04) නුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ සිටි පිරිසක් වෙත දැක්වූ ප්‍රතිචාරයක් මේ වන විට සමාජ මාධ්‍යවල ඉතා ශීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා. 

2023 ආසියානු කුසලානයේ මූලික වටයේ තරගයක් ඉන්දියාව සහ නේපාලය අතර ඊයේ පල්ලෙකැලේ දී පැවැත්වුනා. මෙම තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ද සමත් වුනා. 

කෙසේ වෙතත් ඊයේ පැවැත්වුණු තරගයටත් වඩා වැඩි අවධානයක් හිටපු ක්‍රීඩක සහ මෙවර තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන Gautam Gambhir හට ලැබීම විශේෂත්වයක්. 

ඊයේ තරගය අතරතුර ප්‍රෙක්ෂකාගාරයේ සිටි කිහිප දෙනෙකු විසින් Gautam Gambhir ඉලක්ක කර ගනිමින් Virat Kohliගේ නම* පවසමින් කෑ ගසනා ආකාරය සහ Gambhir විසින් ඊට ප්‍රතිචාර දක්වන අයුරු දැක්වෙන කුඩා වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ශීඝ්‍රයෙන් හුවමාරු වීමට පටන් ගත්තා. 

*. වත්මන් ඉන්දීය ක්‍රීඩක Virat Kohli සහ Gautam Gambhir අතර යම් සීතල යුද්ධයක් වසර ගණනක සිට පැවත ආ අතර, නිමා වූ IPL තරගාවලිය අතරතුර එය නැවතත් කරළියට පැමිණියා. 

කෙසේ වෙතත් මෙම වීඩියෝවේ Kohli ලෙස හඬ නැගීම සංස්කරණය කරන ලද්දක් බවත්, සැබෑ වීඩියෝව තුළ දී ඉන්දීය විරෝධී ප්‍රකාශ නිකුත් වූ බවත් පිරිසක් විසින් සඳහන් කරනවා. 

එමෙන්ම මෙම වීඩියෝව ප්‍රචලිත වීමෙන් පසුව මාධ්‍ය හමුවට පැමිණ Gautam Gambhir විසින් ඒ පිළිබඳ ලබා දුන් පිළිතුරේ ද අඩංගු වුනේ මෙම දෙවැනි පිරිස විසින් පවසන ඉන්දීය විරෝධී ප්‍රකාශ හා සම්බන්ධ පිළිතුරක්. 

සමාජ මාධ්‍යවල පෙන්නපු දේවල්වල කිසිම සත්‍යතාවයක් නැහැ. මොකද මිනිස්සු ඔවුන්ට අවශ්‍ය දේ පමණයි පෙන්නන්නේ. ප්‍රසිද්ධ වුන වීඩියෝවේ ඇත්ත තමයි ඔබ ඉන්දීය විරෝධී ප්‍රකාශ සහ කාශ්මීරය සම්බන්ධ ප්‍රකාශ සිදු කරනවා නම් ඔබට ඉදිරියෙන් ඉන්න කෙනා අනිවාර්යයෙන් ම ඒවට ප්‍රතිචාර දක්වනවා මිස සිනහ වෙලා ඉවත්ව යන්නේ නැහැ කියන එක. 

එතන පාකිස්තාන ජාතිකයින් දෙතුන් දෙනෙක් ඉන්දීය විරෝධී දේවල් සහ කාශ්මීරය ගැන දේවල් කිව්වා. ඉතින් ඒක තමයි මගේ ස්වාභාවික ප්‍රතිචාරය. 

මට මගේ රටට විරුද්ධව කියන කිසිම දෙයක් අහගෙන ඉන්න බැහැ. ඉතින්, ඒක තමයි මගේ ප්‍රතිචාරය.” 

මේ අතර සිය පෞද්ගලික Twitter (X) ගිණුම මගින් ද Gambhir විසින් මෙම සිදුවීම අලලා සටහනක් තබා තිබුණා. 

සත්‍ය පාවහන් පලඳින අතරේ අසත්‍යයට ලෝකය වටේ අඩක් දුර යා හැකියි. හැම දෙයක් ම පේනවා වගේම නෙවෙයි. 

අපේ ජාතියට එරෙහිව සිදු කරන එවැනි ප්‍රකාශවලට ඕනෑම ඉන්දීය ජාතිකයෙක් විසින් මම වගේම ප්‍රතිචාර දක්වා වී 

මම අපේ ක්‍රීඩකයින්ට ආදරෙයි, මම මගේ රටට ආදරෙයි. 

කෙසේ වෙතත් එම සිදුවීම පිළිබඳ පැවසෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් ඉතිරි වී ඇත්තේ ගැටලුවක් පමණයි. 

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Indian Express ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<