“හිතවත්කම් හතරේ සීමාවට පිටතින් තබා ගන්න” – Gautam Gambhir

Asia Cup 2023

12254

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද නිසාම දෙරට අතර ක්‍රීඩාවට පවා විශාල බලපෑම් එල්ල වී ඇති බව නොරහසක්.

වසර ගණනාවක් තිස්සේ දෙරට අතර පැවැත්වුණු ක්‍රිකට් තරග පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පවා පැහැදිලි වන කාරණයක් වන්නේ එම තරගවල දී දෙරටේ ම ක්‍රීඩකයින් සිය උපරිමය ලබා දෙමින් තම රටේ ගෞරවය වෙනුවෙන් සටන් වැදීමට උත්සාහ කරන බවයි. එම නිසාම අතීතයේ පැවැත්වුණු තරග බොහෝමයක ක්‍රීඩකයින් අතර යම් උණුසුම් ගැටුම් ඇති වූ අතර මෙවන් හේතු නිසාම ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරග පිළිබඳ මුලු මහත් ක්‍රිකට් ලෝකයේ ම විශේෂ අවධානයක් ද යොමු වුනා. එමෙන්ම මෙම දෙරටේ ම මාධ්‍ය විසින් මෙම ක්‍රිකට් ගැටුම අළුබඳුන තරගාවලියටත් වඩා ඉහළින් තබමින් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබා දීමට ද පෙලඹී තිබෙනවා.

නමුත් අද වන විට දෙරටේ දේශපාලනික ගැටුම් කෙසේ වෙතත් ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගවල නම් පෙර පැවති උණුසුම් බවේ විශාල අඩු වීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දෙරටේ ම ක්‍රීඩකයින් ඉතා සුහද කතාබස්වල නිරත වෙමින්, සිනහ මුසුව සිටිනු දකින්නට ලැබෙනවා.

පසුගිය සෙනසුරාදා (02) නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ඉන්දු – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගය අතරතුර දී ද මේ බව පැහැදිලිව ම පෙනෙන්නට තිබුණා. තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර අවසානයේ ඉන්දීය ඉනිමෙන් පසුව තීරණයක් රහිතව ම තරගය අත්හැර දැමීමට ද සිදු වුනා.

වර්ෂාව නිසා ලද විවේක කාල වල දී මෙන්ම තරගයට පෙර පැවැත්වුණු පුහුණු සැසි වල දී ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩකයින්, විශේෂයෙන්ම Virat Kohli, Shadab Khan, Haris Rauf සහ Babar Azam අතර ඉතා සුහද සාකච්ඡා සිදු වන අයුරු කැමරා කාච වලට හසු වුනා.

කෙසේ වෙතත් මෙම හිතමිතුරු බව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Gautam Gambhir හට නම් එතරම් සතුටුදායක දර්ශනයක් වී නැහැ.

” ඔබ ජාතික කණ්ඩායම වෙනුවෙන් පිටියේ ක්‍රීඩා කරනවා නම් ඔබේ මිතුරු කම් හතරේ සීමාවෙන් එපිට තබා පැමිණිය යුතුයි.

තරගය වෙනුවෙන් ක්‍රීඩාශීලී මුහුණුවරක් තිබීම වැදගත්. යාළුකම් තරගයට පිටතින් පවත්වා ගන්න පුළුවන්. දෙපාර්ශවයේ ම ඇස් වල ආක්‍රමණශීලී බවක් තිබිය යුතුයි. ක්‍රිකට් ක්‍රීඩා කරන පැය හයෙන් හෝ හතෙන් පසුව ඔබට අවශ්‍ය තරම් මිත්‍රශීලී විය හැකියි.

ඒ පැය ටික හරිම වැදගත්. මොකද ඔබ නියෝජනය කරන්නේ ඔබ විතරක් ම නොවෙන නිසා. ඔබ බිලියන ගණනකට වඩා වැඩි ජාතියක් නියෝජනය කරනවා.”

ඉන්දු – පාකිස්තාන මිත්‍රත්වය සීමා ඉරෙන් එළියට ගෙන යන ලෙස පවසන Gambhir විසින් මෙහි දී අවධාරණය කර තිබුණේ අතීතයේ මෙවැනි දෑ සිදු නොවුනු බවයි.

” තරග අතරතුර ප්‍රතිවාදී කණ්ඩායම්වල ක්‍රීඩකයින් එකිනෙකාගේ පිටට තට්ටු කර ගන්නා අයුරු මේ දිනවල ඔබ දකිනවා. මීට වසර කිහිපයකට පෙර ඔබට කිසි විටෙක එවැනි දේ දකින්න ලැබුණේ නැහැ.

ඔබට පුළුවන් Sledge කරන්න. නමුත් පෞද්ගලික මට්ටමට යන්න එපා. ඔබ ඔබේ සීමාව තුළ රැඳී සිටිය යුතුයි.”

තරගය තුළ උපරිම ආක්‍රමණශීලී විය යුතු බව සහ අනවශ්‍ය මිතුරුකම් හෝ අනවශ්‍ය හතුරුකම් වලින් ඈත් වී සිටිය යුතු බවත් Gambhir විසින් මෙහි දී සඳහන් කරනවා.

එමෙන්ම බොහෝ ක්‍රිකට් රසිකයින් ද මෙම දෙපාර්ශවය අතර ඇති අසීමිත සුහද බවට වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් බලාපොරොත්තු වන බව නම් නොරහසක්. කෙසේ වෙතත් ක්‍රීඩාවේ ජීව ගුණය සම්බන්ධයෙන් නම් මෙම මිතුරු කම් හොඳ අත් වැලක් වන බව විශ්වාස කළ හැකියි.

මේ අතර ඉන්දු – පාකිස්තාන වත්මන් ක්‍රීඩකයින් මිතුරු වීමට උත්සාහ කරද්දී පැරණි ඉන්දීය ක්‍රීඩකයකු වන Irfan Pathan විසින් නැවතත් දෙරට අතර යම් ගැටලුවක් මතු කිරීමට උත්සාහ කරන බවට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් චෝදනා එල්ල වනවා.

“ඔහු (Irfan) පන්දු යැවීමෙන් ගෞරවය උපයා ගත්තා. Tweet කිරීම මගින් එය නැති කර ගන්නවා.”

Irfan හට මෙම චෝදනාව එල්ල වන්නේ සෙනසුරාදා පැවැත්වුණු ඉන්දු – පාකිස්තාන තරගය අතරතුර ඔහු විසින් පළ කළ Twitter සටහනක් නිසායි.

” අද බොහෝ අසල්වාසීන්ගේ රූපවාහිනී යන්ත්‍ර සුරක්ෂිත වනු ඇත.”

එම තරගය වර්ෂාවට හේදී යාම නිසා තීරණයක් රහිතව අවසන් වීම අලලා Irfan විසින් මෙම සටහන තබා තිබුණා. මෙම තරගය පාකිස්තානය පරාජය වීමට නියමිත ව තිබූ එකක් බවයි ඔහු සිය Twitter පණිවුඩය මගින් පැවසීමට උත්සාහ කර තිබුණේ.

නමුත් එදා තරගයේ දී ඉන්දීය මැදපෙළ පිතිකරුවන් වන Ishan Kishan සහ Hardik Pandya නොවන්නට ඉන්දීය කණ්ඩායමට යන එන මං නැති වන බව ඔහුට අමතකව ගොස් ඇති බව තවත් Twitter පරිශීලකයකු විසින් සඳහන් කර තිබුණා.

” ඇත්තටම මොකක් ද මේකේ අවශ්‍යතාව. එයත් අපේ මුල් පෙළ බිඳ වැටීමෙන් පසුව පිතිකරුවන් දෙදෙනෙකු විසින් විශේෂ උත්සාහයක් දරමින් තරමක් හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසුව.

වෛරය පිරුණු කාල වල දී මේ වගේ ප්‍රසිද්ධ මත ඔප දැමීම නොවෙයි කළ යුතු.”

වෘත්තීය භාවයෙන් 10%ක් හෝ Kohliගෙන් සහ තරුණ පාකිස්තාන ක්‍රීඩකයින්ගෙන් ඉගෙන ගන්න.

මෙවන් චෝදනාත්මක ප්‍රතිචාර ලබන අතරේ ම Irfan Pathanගේ මෙම ප්‍රකාශය තවත් එක් විහිළුවක් පමණක් ම බව පවසමින් Pathan වෙනුවෙන් හඬ නගනා අය ද නැතිවාම නොවෙයි.

කෙසේ වෙතත් එම තරගය වර්ෂාව නිසා සේදී නොයන්නට මෙම වාද විවාදවල උණුසුම නම් තවත් ඉහළ යාමට ඉඩ තිබූ බව සැකයකින් තොරවම පැවසිය හැකියි.

2023 ආසියානු කුසලානයේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<