නොදැවුණු ශතක සබඳතාවයක් සමඟ ඉන්දියාව සුපිරි 4ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

623
Rohit Sharma captain of India and Shubman Gill of India during the Asia Cup 2023 cricket match between India and Nepal at the Pallekele International Cricket Stadium, Kandy, Sri Lanka on the 4th September, 2023. Photo by: Deepak Malik / CREIMAS / Asian Cricket Council RESTRICTED TO EDITORIAL USE

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයේ අවසන් තරගය ඊයේ (4) ඉන්දියාව සහ නේපාලය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අවසන් වුනා.

එම තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 10ක ජයක් ලබා ගත් ඉන්දියාව සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට නේපාල කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අවසරයෙන් පන්දුවට පහර දුන් නේපාලය සියල්ලන්ම දැවී ලකුණු 230ක් ලබා ගත්තා.

නේපාලය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ගත් Kushal Bhurtel සහ කඩුලු රකින පිතිකරු Aasif Sheikh පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවයක් ගොඩනංවමින් නේපාල ඉනිම ස්ථාවර කළා. එහි දී එම සබඳතාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් විසින් අවස්ථා 3ක දී රැකගැනීමට හැකිව තිබුණු උඩපන්දු ගිලිහී යාම විශාල පාඩුවක් වුනා.

එය ද සවියක් කරගනිමින් Aasif Sheikh 4 පහර 8ක් එල්ල කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 10 වැනි අර්ධ ශතකය ලබා ගත් අතර, පළමු කඩුල්ල වෙනුවෙන් ඉන්දියාවට හිසරදයක් වෙමින් ගොඩනැංවුණු ලකුණු 68 සබඳතාවයට තිත තබමින් Bhurtel ලකුණු 38කට දැවී ගියා.

අනතුරුව නේපාල මැදපෙළ කඩුලු 5ක් ලකුණු 79ක් තුල දවා ගනිමින් Ravindra Jadeja ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් ක්‍රියාත්මක වීමත් සමඟම නේපාල ලකුණු සටහන තරමක් පසුපසට තල්ලු වුනා.

Sompal Kami සමඟ එක්වුණු Dipendra Singh Airee 7 වැනි කඩුල්ල වෙනුවෙන් ප්‍රබල ඉන්දීය පන්දු බලඇණිය හමුවේ ලකුණු 50ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූවා.

එම සබඳතාවය නේපාල ලකුණු සටහන අභියෝගාත්මක ලකුණු සටහනක් දක්වා රැගෙන යන්නට සහයක් වුනා. 4 පහරක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පසුපෙළට යම් ජවයක් එක් කළ Sompal Kami ලකුණු 48කට දැවී යාම නේපාල රසිකයින්ගේ කනස්සල්ලට හේතුවක් වුනා. පන්දු යැවීමේ දී Mohammed Siraj සහ Ravindra Jadeja කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් අතරට පැමිණියා.

කඩින් කඩ ඇදහැළුණු වර්ෂාව නිසා තරගයට විටින් විට බාධා එල්ල වුනු නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ සහායකයින් එම වර්ෂාවට අභියෝග කරමින් ක්‍රීඩාංගණය නැවතත් ක්‍රීඩා කිරීමට හැකි මට්ටමක් දක්වා රැගෙන ආවා.

ඉන්දියාව ඒ වන විට කිසිවෙක් නොදැවී ලකුණු 17ක් ලබාගෙන සිටියේ පන්දුවාර 2කුත් පන්දුවක් තුලයි. වර්ෂාවෙන් අනතුරුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දියාවට පන්දුවාර 23ක දී ලකුණු 145ක් ඉලක්කයක් හිමිවුණු අතර එය පන්දුවාර 20කුත් පන්දුවක් තුල සපුරා ගන්නට ඉන්දීය ආරම්භක පිතිකරුවන් යුගලය සමත් වුනා.

නායක Rohit Sharma සහ Shubman Gill දෙදෙනාම අර්ධ ශතක ලබා ගනිමින් පිළිවෙළින් ලකුණු 74*ක් සහ ලකුණු 67*ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනාම සිය ප්‍රහාරාත්මක වේගය 100.00 ඉක්මවා රඳවා ගෙන පන්දුවට පහර දීම කැපී පෙනුණා. ඒ අනුව පිළිවෙළින් පාකිස්තානය සහ ඉන්දියාව A කාණ්ඩයෙන් සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

  • නේපාලය – 230 (48.2): Aasif Sheikh 58, Sompal Kami 48, Kushal Bhurtel 38, Ravindra Jadeja 3/40, Mohammed Siraj 3/61
  • ඉන්දියාව – 147/0 (20.1): Rohit Sharma 74*, Shubman Gill 67*

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දියාවට කඩුලු 10ක ජයක්

2023 ආසියානු කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<