බ්‍රේක් ඩාන්ස් වලින් ඔලිම්පික් රන් පදක්කම් දිනමු

255

2024 ඔලිම්පික් උළෙල ඉතිහාසගත වන හේතු කිහිපයකි. 1900 වසරෙන් පසුව ප්‍රංශය ගිම්හාන ඍතු ඔලිම්පික් උළෙලක් පවත්වන්නේ 2024 දීයි. එමෙන්ම හිප්හොප් ශෛලියේ නර්තන තරග ඉසව්වක් ඊට ඇතුළත් වීම ඓතිහාසික ය.

එය සැලකෙන්නේ වසර 40ක පමණ දීර්ඝ වැඩපිළිවෙළක එක් සන්ධිස්ථානයක් ලෙසයි. බ්‍රේක් ඩාන්ස් (Breaking) ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත මෙය, Break Dancing ක්‍රීඩාවට අදාළ වෙබ් අඩවියේ සඳහන් වන්නේ “කරණම් සහ පාද චලන වලින් ශෛලිගත වූ හිප්හොප් පන්නයේ නර්තනයක්” ලෙසයි.

ඇමරිකානු කළු ජාතිකයන්ගේ විශ්මයජනක ශාරීරික හැකියාවන් වලින් වර්ණවත් වූ මෙම නර්තන ශෛලිය පසුකාලීනව ලොව සෑම කලාපයකම ප්‍රචලිත විය. නිව්යෝක් නුවර එහි ප්‍රධානම වේදිකාවකි. රචක, නිෂ්පාදක, කලාකරු, ව්‍යවසායක Michael Holman (මයිකල් හෝල්මන්) පවසන්නේ,

“නිව්යෝක් කියන්නෙම තරගයක් සහ ඔබ හොඳම කෙනා වෙන්නට දරන උත්සාහයක්. මට අවශ්‍ය වුනේ තවත් කණ්ඩායමක් සටනට ගේන්නටයි. ප්‍රේක්ෂකයන් සටනක් නැරඹීම තමයි මට අවශ්‍ය වෙන්නේ. අංග චලන විතරක් නෙමෙයි,” යනුවෙනි. ඔහු මේ අදහස් පැවසුවේ BBC මාධ්‍යය හමුවේයි.

එහෙත් මෙහි සැකැස්ම ජිම්නාස්ටික් හෝ අයිස් මත නර්තනය යන ඉසව් වලින් වෙනස් ය. විනිසුරුවන්ගේ ප්‍රසාදය දිනාගැනීම වෙනුවෙන් තමන්ගේ වාරය එනතෙක් බලා සිටින්නට හිප්හොප් නර්තනකරුවන්ට සිදුවන්නේ නැත. නර්තනකරුවන් ප්‍රතිවාදියා සමඟ මුහුණට මුහුණලා නර්තන බිමේ නැටුමෙන් සටන් වැදිය යුතුය.

’80 දශකයේ දී මයිකල් හෝල්මන් මූලික වී රාත්‍රී සමාජ ශාලාවක සතිපතා එවැනි නර්තන සටන් බිමක් නිර්මාණය කළේය. මැන්හැටන් නගරයේ පැවති එයට රැප් සංගීතය සහ ග්‍රැෆිටි (නිර්මාණාත්මක සිතුවම් වැකි) ඇතුළත් විය.

feldfuerkunst.net
ග්‍රැෆිටි

මුල් කාලීනව එහි සටන් නොතිබුණි. ශිල්පීන් තමන්ගේ නර්තනය ඉදිරිපත් කළ පසු ප්‍රේක්ෂකයන් ඊට අත්පොළසන් දී මීළඟ අංගයට සූදානම් විය. හෝල්මන් ඒ වෙනුවෙන් සටනක පෙනුමක් ලබා දුන්නේ එබැවිනි. එය ඔහුගේ මනසට ඇතුල් වුනේ ඊටත් පෙර ය. එනම් ’70 දශකයේ දී ය.

“ගෙටෝ බ්‍රදර්ස්ලා හිටියා, බ්ලැක් ස්පේඩ්ස්, සැවේජ් නොමෑඩ්ස් සහ සැවේජ් ස්කල්ස් හිටියා.ඒගොල්ලෝ අවුරුදු ගානක් ලේ හොලවමින් හිටියේ. ඔළු කැඩිලි, මිනීමැරීම්, පිහි ඇනුම්…”, ඔහු සිහිකළා.

කළු ජාතිකයන්ගේ සංස්කෘතිය වෙනස්ම එකකි. මත්කුඩු ව්‍යාපාර, කළු ව්‍යාපාර මෙන්ම පාතාල කටයුතු ද ඔවුන්ගේ නමටම ඈඳී ඇත. ’70-’80 යනු එවන් කටයුතු බහුලව පැවති යුගයකි. කොටින්ම හිප්හොප් සංගීතයේ පූර්වජයින් වූයේ පාතාල දැවැන්තයින් ය. එවන් යුගයක කළු ජාතික තරුණයින්ට නැවුම් බලාපොරොත්තු දිය යුතුව තිබුණි. ඔවුන්ව නපුරු සංස්කෘතියෙන් මුදවාගත යුතුව තිබුණි. හිප්හොප් නර්තනය ඊට මනා පිටිවහලක් විය.

“ඉන්පස්සේ 1971දී ගෙටෝ බ්‍රදර්ස්ලගේ නායකයා, Yellow Benjy (යෙලෝ බෙන්ජි) වේදිකාවක් හැදුවා ප්‍රතිවාදී කණ්ඩායම්වල තරුණ තරුණියන්ට එකට නටලා පාටි දාන්න අවසර ලැබෙන විදියට,” හෝල්මන් සිහි කළා.

එය නර්තනයේ නවතම පෙරළියක් ඇති කළ යුගයක් විය. කළු තරුණ තරුණින්ගේ විශේෂ ශාරීරික හැකියාවන්ගෙන් ඔප නැංවුණු හිප්හොප් නර්තනය ගුරුත්වාකර්ෂණ බලය ද ඉක්මවා යන මට්ටමේ සුපිරි දස්කම් ප්‍රදර්ශනය කෙරෙන තලයට පිවිසුණි.

හිප්හොප් නර්තනයේ අලංකාරය

“ෂා, ඒක නම් පිස්සුවක් කියලා අනෙක් නර්තනකරුවන් කියනකම් කැඩිලිකාරයෝ (break dancers) බලාගෙන ඉන්නවා. චීන නර්තනකරුවෝ චීන කුංග් ෆු නැටුමට ගෙන විදිය, ඉන්පස්සේ මම මගේ ඇමරිකානු කේක් වෝක් ඩාන්ස් එකත් එක්ක ඔයාගේ චීන කුංග් ෆු එකතු කරන එක, නැත්නම් ඒකට පෝර්ටෝ රිකෝ ජිම්නාස්ටික් එකතු කරන එක… මේ ඔක්කොම James Brownගේ (ජේම්ස් බ්‍රවුන්) සින්දුවක් ජැමෙයිකානු ශෛලියට

මික්ස් කරලා නටන ගමන්. ඒක තමයි b-boy ඩාන්ස් (break dance) වල තියෙන සංස්කෘතිය,” හොල්මන් පැවසුවේය.

හෝල්මන් විසින් මුලින්ම නිර්මාණය කරන ලද නර්තන කණ්ඩායම “රොක් ස්ටෙඩි කෲ” නම් විය. ඉන්පසුව ඔවුන්ට එරෙහිව නර්තනයේ යෙදිය හැකි තවත් කණ්ඩායමක් ඔහු සෙව්වේය.

“මම ‘ෆ්ලෝර් මාස්ටර්ස්’ කියලා කණ්ඩායමක් ගෙනාවා. ඩාං ගාලා ඒක ඓතිහාසික අවස්ථාවක් වුනා. ෆ්ලෝර් මාස්ටර්ස්ලට ක්‍රීඩාවයි, වේගයයි, බලයයි තිබුණා. ඒගොල්ලෝ සටන් කරනවා දැකපු ගමන්ම මම රොක් ස්ටෙඩි කෲ එක උණුවෙන් තිබුණු අලයක් වගේ අතෑරියා,” තම ව්‍යාපාරික මනස විසින් කියූ දෑ විශ්වාස කිරීම ගැන හෝල්මන් එසේ පැවසුවේය.

ඔහු ඔහුගේ නගරය අවට සිටි නර්තන කණ්ඩායම්වල දක්ෂතම නර්තන ශිල්පීන් එක්කොට ‘නිව්යෝක් සිටි බ්‍රේකර්ස්’ නිර්මාණය කළේය. පවර් ඩාන්සින් කලාවේ ඉහළින්ම සිටි Noel ‘Kid Nice’ Manguel (නොයෙල් ‘කිඩ් නයිස්’ මැනුවෙල්), Matthew ‘Glide Master’ Caban (මැතිව් ‘ග්ලයිඩ් මාස්ටර්’ කබාන්) සහ Tony ‘Powerful Pexster’ Lopez (ටෝනි ‘පවර්ෆුල් පෙක්ස්ටර්’ ලෝපේස්) වැනි නර්තන කරුවන් ඔහු සමඟින් කටයුතු කළේය. ඔවුන් එක්ව නර්තන කලාවේ පෙරලියක් ඇති කළේය.

“මම දුර්වල ශිල්පීන්ව අතෑරලා නගරේ තවත් කණ්ඩායම් තුන හතරක් පරික්ෂා කළා. පවර් බ්‍රේකින් වල සුපිරි කණ්ඩායමක් මම හැදුවා,” ඔහු පැවසීය.

“ඒගොල්ලන්ට හැකියාව තිබුණා චක්‍රයක කැරකෙන්න (gyroscope). පාද වලින් වැඩ පෙන්නන්න, බිමට ගිහින් වැඩ දාන්න. ඒගොල්ලන්ට තිබුණා අභ්‍යන්තර ශක්තියක්,” ඔවුන්ගේ හැකියාවන් ගැන හෝල්මන් සිහිකළේය.

“ඒගොල්ලන්ට කැරකෙන්න, ලෙළවන්න පුළුවන්කම තිබුණා. ඒගොල්ලෝ අලුත් චලන විධි හොයාගත්තා. ඒක සුපිරි කවියක් වගේ.”

BBC
මයිකල් හෝල්මන්

සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට නිව්යෝක් බලා බැංකු රැකියාවක් වෙනුවෙන් පැමිණි හෝල්මන් කෙටි කලකින්ම රැකියාවට සමුදී මේ සංස්කෘතික විප්ලවයේ කොටස්කරුවෙකු විය.

“මම හඩ්සන් සහ චේම්බර්ස් විදි වල උඩුමහල් නිවාසෙක හිටියේ. මම උදේක විදුලි සෝපානය ළඟ ඉද්දී දැක්කා Joey Ramone (ජෝයි රමෝන් – Ramones සංගීත කණ්ඩායමේ නියාමක ගායක) මුළු රෑම පාටි කරලා අත් දෙකෙන්ම ගෑණු ළමයි දෙන්නෙක්ව තුරුල් කරගෙන එනවා. ඒක පිස්සුවක්,” හෝල්මන් සිහිකළේය.

ඔහු ඉක්මණින්ම නිව්යෝක් හි නැගී එන ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඇසුරට පත්විය. සංගීතඥයින්, කවි ලියන්නන්, චිත්‍ර ශිල්පීන් ඔහුගේ මිතුරන් විය. වීදි ආශ්‍රිතව වෙනස්ම සංස්කෘතියක් ගොඩනැගෙන බව ඔහුට පෙනිණි.

“මම කෝච්චිය එනකම් බාගෙට නිදිමතේ සබ්වේ එක ළඟ හිටියා. ඔන්න මේ කෝච්චිය එනවා උඩ ඉඳන් පල්ලෙහාටම, හැම වීදුරුවකම ග්‍රැෆිටි චිත්‍ර වලින් නෑවිලා. මම ඊට කලින් එහෙම දෙයක් දැකලා තිබුනේ නෑ. ඒක වීදියෙන් දීපු මාර පණිවිඩයක්. ඒක නාස්තිකිරීමක් තමයි ඒත් ඒ එක්කම ලස්සනකුත් තිබුණා,” ඔහු පැවසුවේය.

“තරුණ ළමයි කියනවා, ‘මගේ දිහා බලාපල්ලා, මට කරන්න පුළුවන් දේවල් බලාපල්ලා, මම නිකමෙක් නෙමෙයි හරි ද?’ කියලා. හරි, ‘මේ නගරය තමයි එක්සත් ජාතීන්ගේ සංගමයට නවාතැන් දෙන්නේ. ඒක තමයි ප්‍රාග්ධනයේ සහ මූල්‍ය වෙළඳපොළේ අගනගරය. ඒත් මම බ්‍රොන්ක්ස් වල පොඩි කොල්ලෙක්. මටත් දෙයක් කරන්න පුළුවන්’ කියන එක”

“ඒක හරියට ‘මගේ දිහා බලාපල්ලා, මමත් යම්කිසි කෙනෙක්’ කියනවා වගේ. ‘මට පුළුවන් මයික් එකක් අරන් ගයන්න, මගේම කවියක් ලියන්න, මට ටර්න් ටේබල් එකක් කරකවන්න පුළුවන්, මට නැටුම් බිමක් හොලවන්න පුළුවන්, මට ඔලුවෙන් කැරකෙන්න පුළුවන් උඹලට හිතන්නවත් බැරි විදියට”, ඔහු පවසන්නේ මෙවැනි මනෝභාවයන් නර්තනය තුළින් පිටතට එන බවයි. කලාව තුළින් පීඩනය පිටවීම සහ සමාජයත් තරුණයනුත් අතර පාලමක් නිර්මාණය වීම ඉතා වැදගත් ය.

’60-’70 දශකවල දී පන්ක් රොක් සංගීතය විසින් ලන්ඩන් සහ නිව්යෝක් නගර සිය අණසකට යටත් කරගත් පරිද්දෙන් හිප්හොප් නර්තනයට කලා බිම සියතට ගත හැකි දැයි ඔහු කල්පනා කළේය.

“මගේ යාලුවෙක් Malcolm McLaren (මැල්කම් මැක්ලරන් – ව්‍යවසායක) එක්ක පාසල් ගියා. මැක්ලරන් නිව්යෝක් ආපු වෙලාවක මම එයාව බ්‍රොන්ක්ස් වල මුඩුක්කුවක් ඇතුළේ පාටියකට අරගෙන ගියා. ඩීජේ Afrika Bambaataaයි (ඇෆ්රිකන් බම්බාටා) ඩීජේ Jazzy Jayයි (ජෑසි ජේ) එක්ක. මැක්ලරන් මවිත වුනා. මට කිව්වා ඒ ගැන විචාරයක් ලියන්න කියලා. මම ඒක කළා.”

මැක්ලරන් ඒ වනවිට සංස්කෘතික විප්ලවයන් සිදුකිරීමේ හසල දැනුමකින් යුක්ත විය. සෙක්ස් පිස්ටල්ස් සංගීත කණ්ඩායම කළමනාකරණය කළ ඔහු ඇතුළු කණ්ඩායම

එළිසබෙත් රැජිණගේ රිදී ජුබිලිය වෙනුවෙන් 1977 දී එංගලන්ත ජාතික ගීයේ නමින් “God save the queen” නම් ගීතය නිර්මාණය කළෝය.

ඔවුන් දෙදෙනාගේ මිතුරුකම නිසා හෝල්මන් හට එංගලන්තයේ උපන් ආයෝජකයෙකු හමුවිය.

මේ කාලය තුළ දී හෝල්මන්ගේ “නිව්යෝක් සිටි බ්‍රේකර්ස්” නර්තන කණ්ඩායමත් ඔහුගේ ඩීජේ සගයින් දෙදෙනාත් රාත්‍රී සමාජ ශාලාවල් වල ජනප්‍රිය ප්‍රාසාංගිකන් විය. එමෙන්ම රූපවාහිනිය තුළින් විකාශය වූ Soul Train වැනි වැඩසටහන් වලට සහභාගී වීමේ අවස්ථාවත් නිව්යෝක් සිටි බ්‍රේකර්ස් හට හිමි විය. මාධ්‍යවල අවධානය ඉක්මණින්ම ලැබුණි.

“අපි කරමින් හිටපු දේ මාසේ හොඳම වැඩේ හැටියට ජාත්‍යන්තර විකාශනකරුවන්ගේ අවධානයට ලක්වුනා. වාර්තා වැඩසටහන් කරන අය ලෝකේ වටෙන්ම නිව්යෝක් වලට ආවා. BBC, Canal Plus, NHK, Rai TV සහ ZDF වගේ,” ඔහු පැවසුවේය.

“ඒගොල්ලෝ බ්‍රේකර්ස්ලව වීඩියෝ කරනවා, ඒක එහෙමම එයාලගේ ආයතන වලට යවනවා. ඒක එදා රෑම ප්‍රවෘත්ති වල යනවා. එතකොට ලන්ඩන්, ටෝකියෝ, පැරිස් වල ළමයි ඇමරිකාවේ පිට්ස්බර්ග් වල ළමයින්ටත් කලින් දැනගන්නවා හිප්හොප් සංස්කෘතිය ගැන”, ඔහු පැහැදිලි කළේය.

mbcoworking.com
නිව්යෝක් සිටි බ්‍රේකර්ස්

මේ වෙද්දීත් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය, ජර්මනිය මෙන්ම මෙක්සිකෝව ආදී ලතින් ඇමරිකානු රටවල්වලට ද හිප්හොප් සංස්කෘතිය ගලාගෙන ගොස් ඇත.

1984දී හෝල්මන් ඔහුගේම නමින් හිප්හොප් වැඩසටහන් නිෂ්පාදනය කළේය. Graffiti Rock ඉන් එකකි. එවකට ජනප්‍රිය රැප් ගායකයන් සමඟින් සිටි බ්‍රේකර්ස් ඊට නර්තනයෙන් දායක විය.

“ඒක තමයි ලෝකේ පළවෙනි හිප්හොප් ෂෝ එක,” හෝල්මන් කීවේය.

සිටි බ්‍රේකර්ස් සමඟින් ඔහු එංගලන්තයේ London Contemporary Dance Trust හි ප්‍රසංගයකට සහභාගී විය. ඒ 1987දීයි.

“ඒ කාලේ වෙනකොට ප්‍රසංග අඩු වුනා. මාධ්‍යත් වෙන දේවල් ගැන හොයන්න පටන් ගත්තා සහ බ්‍රේකර්ස්ලත් තමතමන්ගේ පාරවල් වල ගියා,” 1987 දී සහභාගී වූ එම ප්‍රසංගය ඔවුන් සහභාගී වූ අවසන් විශාල ප්‍රසංගයයි.

LINKS · තිස් අවුරුදු UFC ලෝකය වෙනස් කළ හැටි · “මෙහෙම පෙනුණත් මම කාන්තාවක්” – රෙනී කැම්බල් · “මට පෙරීට කතා කරන්න පුළුවන් ද?” – සනාගේ සිහිනය සැබෑ වූ හැටි

පසුව හෝල්මන් හිප්හොප් නර්තනය පිළිබඳ දේශන සහ අධ්‍යාපනික වැඩසටහන්වලට ද සහභාගී විය. එය ක්‍රීඩාවක් වනු පිණිස ද හෝල්මන්ගේ කැමැත්ත ලැබී තිබේ. ඔහු විසින් හිප්හොප් නර්තනය ක්‍රීඩාවක් කිරීමට දායක වූ නිසා ඇතැම් නර්තන ශිල්පීන් ඔහු හා අමනාප බව ද හෝල්මන් සඳහන් කරයි.

“ඔවුන් කියනවා, ‘ආ තමුසේ තමයි නේද මේක ක්‍රීඩාවක් පැත්තට තල්ලු කරන්නේ? කලාව මරලා!’ කියලා”

“ඒත් මම හැමදාම හිතුවේ ඒ කලාවට හිතකුයි ජීවිතයකුයි තියෙනවා කියලා. කලාව, කලාව හැටියටම ස්ථාවරයි. සමස්තයක් හැටියට ගත්තහම හිප්හොප් කියන්නේ දැන් මිලියන ගණනින් මුදල් ගැවසෙන, ලෝකෙටම බලපෑමක් කරන කලාවක්,” ඔහු පැවසුවේය.

“තවත් විවාදයක් තියෙනවා කලාවකට විනිශ්චයක් දීලා ලකුණු දෙන්නේ කොහොමද කියන එක ගැන. ඒත් අපි ෆිගර් ස්කේටින් ගත්තොත්, 1930 දී ඒකත් එහෙමයි,” කලාවන් ක්‍රීඩාවන් ලෙස භාවිත වන ඉසව් කිහිපයක්ම ඔලිම්පික් උළෙල තුළ ඇත.

විවාදයන් පසෙක තැබුවහොත්, හෝල්මන් පවසන පරිදි නිව්යෝක්හි වීදී සහ මුඩුක්කු වල සිට ඔලිම්පික් උළෙල දක්වා පැමිණ ඇති හිප්හොප් නර්තනය එලෙස ආ ගමන සුවිශේෂී එකකි. ඔහු මීට දශක 4කටත් පෙර සිට එහි බලය කියවාගන්නට සමත් වූයෙකි.

අනෙක් අතින් ශ්‍රී ලංකාව වැනි රටක සිටින උපතින්ම රිද්මයානුකූල තරුණ තරුණියන්ට මෙය අවස්ථාවක් කරගත නොහැකිද යන පැනය ද අප සිතෙහි දරාගත යුතුය. මේ සියල්ල අවස්ථා ය. හෝල්මන් හට ’80 දශකයේ දී ලැබුණේ ද, අප හට 2024දී ලැබෙන්නේ ද එම අවස්ථාවයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<