Rishabh Pant ගැන හිටපු ඉන්දීය ප්‍රබලයෙකුගෙන් ප්‍රකාශයක්

1010

නවක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Rishabh Pant හට කිසිදා MS Dhoni විය නොහැකි බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Gautam Gambhir පවසා ඇත. ඔහු තවදුරටත් පවසා ඇත්තේ Rishabh Pant හට දියුණු කරගැනීමට තවත් බොහෝ දේ තිබෙන බවයි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තුල නොමැකෙන නාමයක් සටහන් කිරීමට හිටපු නායක MS Dhoni සමත් විය. ඔහුට සමකළ හැකි ක්‍රීඩකයෙකු වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුල නොමැති තරම්‍ ය. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙකු වන Rishabh Pant මීළඟ MS Dhoni වනු ඇති බව බොහෝ දෙනා අනාවැකි පලකර තිබුණි.

21 හැවිරිදි වන Rishabh Pant කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Delhi Capitals නියෝජනය කරයි. කෙසේ වෙතත් බොහෝ දෙනා ඔහු පිළිබඳව කළ අනාවැකිවලින් අනතුරුව ඔහුට යම් පීඩනයක් එල්ල වූ අතර පසුගිය 2019 මෙන්ම 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල දී ද ඔහු සිය සුපුරුදු දස්කම් දැක්වීමට සමත් වූයේ නැත.

MS Dhoni ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟින් ඔහුගේ අඩුව පිරවීම සඳහා කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙන්ම පිතිකරුවෙකුගේ ද අඩුව ඉන්දීය කණ්ඩායමට වඩාත් තදින් දැනෙන්නට විය. 

MS Dhoni ඉන්දියාව බිහි කළ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන අතර ලෝකයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් අතරට ඔහුගේ නමත් එක්ව තිබේ. 

ලෝක කුසලාන තරගාවලි දෙකක දී ඉන්දීය කණ්ඩායම ශූරතාවය වෙත මෙහෙයවීමට MS Dhoni සමත් විය. ඔහුගේ නම ඉදිරියේ සටහන්ව ඇති වාර්තා සංඛ්‍යාව අතිවිශාලය.

මේ නිසා ඔහු වෙනුවට වෙනත් විකල්පයක් සොයාගැනීම ඉන්දීය කණ්ඩායමේ ප්‍රධානම අභියෝගය වී තිබුණි.

එවන් වටපිටාවක් තුල Rishabh Pant මීළඟ MS Dhoni වනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පලකර තිබුණි. මේ නිසා නවක ක්‍රීඩකයෙකු වූ Rishabh Pant හට එල්ල වූ පීඩනය සුළුපටු නොවේ. 

2018 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉන්දීය ජාතික කණ්ඩායම වෙත පහසුවෙන් ප්‍රවේශ වන Rishabh Pant එම තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළේ ඉන්දීය තණතීරුවල මෙන්ම ඕස්ට්‍රේලියානු තණතීරුවල ද එක ලෙස දස්කම් දක්වමිනි. 

කෙසේ වෙතත් ඉන් අනතුරුව 2019 සහ 2020 වසර ඔහුට එතරම් සුබදායී වූයේ නැත. 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ඔහු එහි දී සාර්ථක වීමට සමත්වූයේ නැත. ඔහුගෙන් බලාපොරොත්තු වූ දස්කම් දක්නට නොලැබීමත් සමඟින් ඔහුට ජාතික කණ්ඩායමේ සිය ස්ථානය ද අහිමි විය. 

තවත් ක්‍රිකට් පුවත්: 

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එක්වන Rishabh Pant එහි දී ද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූයේ නැත. 

ඔහුට එල්ල වූ පීඩනය නිසා මෙලෙස දස්කම් දැක්වීමට අපහසු වී ඇති බව ඉන්දීය හිටපු ක්‍රීඩක Gautam Gambhir පසුගිය දා පවසා තිබුණි. එහි දී ඔහු පවසා සිටියේ මාධ්‍ය විසින් ඔහුව MS Dhoniට සමකරමින් ඔහුට පීඩනය එල්ල කිරීම නැවැත්විය යුතු බවයි. 

“මුලින්ම අපි Rishabh Pantට MS Dhoni වගේ කියන එක නතර කරන්න ඕනේ. විශේෂයෙන් මාධ්‍ය. ඔවුන් මේ මතය සමාජගත කරන එක නවත්වන්න ඕනේ. මාධ්‍ය වැඩි වැඩියෙන් ඒ ගැන කතා කරද්දී Rishabh වැඩියෙන් ඒ ගැන හිතන්න පෙලඹෙනවා. ඒකෙන් ඔහුගේ පීඩනය තවත් වැඩි වෙනවා. ඔහුට කවදාවත් MS Dhoni වෙන්න බැහැ. ඔහු MS Dhoni වෙන්න ඕනේ නැහැ. ඔහු Rishabh Pant වෙන්න ඕනේ. ” 

” MS Dhoni ගැන ගත්තම ඔහුට විශාල පරාසයක හයේ පහර එල්ල කරන්න හැකියාවක් තිබුණා. Rishabh Pantට හයේ පහර එල්ල කරන්න පුළුවන් වුනා කියලා ඔහුව MS Dhoniට සමකරන එක වැරදියි. ඔහු විශාල හයේ පහර එල්ල කරන නිසා හැමෝම ඔහුට මීළඟ MS Dhoni කියලා කියන්න පෙළඹුනා. ඇත්තටම Rishabh Pantට ගොඩක් දේවල් තියනවා දියුණු කරගන්න. විශේෂයෙන් කඩුලු රකින එක සම්බන්ධයෙන්. පිතිකරණය ගත්තත් ඔහු ගොඩක් දියුණු වෙන්න ඕනේ. ” 

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල මේ දක්වා තරග 12කට ක්‍රීඩා කර ඇති Rishabh Pant එහි දී රැස්කර ඇත්තේ ලකුණු 285ක් පමණි. ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 109ක් ලෙස සටහන්ව තිබේ. Rishabh Pant මීට පෙර ක්‍රීඩා කළ ආකාරය දෙස බැලූ විට එය ඉතාමත් අඩු අගයකි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා Mumbai Indians කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම ඊයේ (05) ක්‍රීඩා කළ අතර එය ජයග්‍රහණය කිරීමට Mumbai Indians කණ්ඩායම සමත් විය.

තරගාවලියේ අද (06) පැවැත්වෙන Sunrises Hyderabad සහ Royal Challengers Bangalore අතර තරගයේ ජයග්‍රාහකයා එළඹෙන 08 වැනිදා Delhi Capitals සමඟින් තරග වැදීමට නියමිතය. එම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම Mumbai Indians කණ්ඩායම සමඟින් අවසන් තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<