LPL ආරම්භක දිනය ආයිත් පස්සට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

190

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ සෞඛ්‍ය අංශ වල අවසර හිමි වූ නමුත් තරගාවලියේ ආරම්භක දිනය තවත් සතියකින් පසුපසට දැමීමට සිදුව ඇත. 

ඒ අනුව මෙම තරගාවලිය නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 17 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. මීට පෙර නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ LPL තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවූයේ, රජය විසින් පනවා තිබෙන නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් මීට මාසයකට පමණ පෙර පැවති සාකච්ඡාවකින් පසුවයි. 

අනතුරුව නැවත වතාවක් එම දිනය නොවැම්බර් මස 27 වැනිදා දක්වා තවත් සතියක් පසුපසට දැමීමට සිදුව තිබෙන්නේ තරග විකාශන කාර්ය මණ්ඩලය ඇතුළු තරගාවලියට සම්බන්ධ වන අනෙක් සියලුම විදේශිකයින් හට දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය කර තිබෙන නිසාවෙනි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“මේ තරගාවලිය තියන්න අවශ්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ඊයේ (04) දිනයේ අපිට නිල වශයෙන් ලැබුනා. ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ අවසරයත් අද (05) දිනයේ දී ලැබුනා. සෑමදෙනාගේම මතය වූයේ මෙතෙක් පැවති සියලු බාධක මධ්‍යයේ වුවද මෙම තරගාවලිය ඉදිරියට ගෙන යාමයි. දැන් අපිට නිසැකවම කියන්න පුළුවන් මේ තරගාවලිය සැලසුම් කරගත් පරිදි දැන් පැවැත්වෙනවා කියලා.” යැයි තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලියේ නව තරග කාලසටහන නිල වශයෙන් මාධ්‍යට නිකුත් කර නොමැති නමුත්  ක්‍රීඩකයින්ගේ Bio Bubbles විටින් විට මාරු කිරීමේ දී තිබෙන ගැටලු නිසාවෙන් තරගාවලියේ තරග සියල්ලම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනු ඇත. 

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදුවන්නේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙනි. තරගාවලිය සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින් හම්බන්තොට මත්තල ගුවන් තොටුපොල හරහා පමණක් ශ්‍රී ලංකාවට ඇතුළු වන අතර විදෙස් ක්‍රීඩකයින් සියලුම දෙනා දින 7ක නිරෝධායන කාලයක් පසුකළ යුතුය. 

LPL තරගාවලිය අවසන් වූ පසුදිනම දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන අතර ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග දෙකක් ඇතුළත් එම තරගාවලිය දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<