හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිතිකරුවා පළමු පෙළ ගමනට තිත තබයි

468

ඕස්ට්‍රේලියානු ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු මෙන්ම දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉහළ දස්කම් දැක්වූ දකුණත් පිතිකරු Callum Ferguson සිය වසර 16ක පළමු පෙළ ක්‍රීඩා ගමනට තිත තබමින් පළමු පෙළ පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව එළඹෙන සතියේ දී දකුණු ඕස්ට්‍රේලියානු සංචිතය නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතව ඇති තරගය සිය පළමු පෙළ පිටියේ අවසන් තරගය වන බව ඔහු ප්‍රකාශ කර ඇති නමුත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත Big Bash තරගාවලියට සහ දකුණු ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින තරග ඔහු ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

මේ වන විට 35 වැනි වියේ පසුවන Callum Ferguson තමන් පළමු පෙළ පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන්ට මෙම ගමන ඒමට උපකාර කළ සිය පවුලේ සාමාජිකයන් ඇතුළු සියලූම දෙනාටම තමන්ගේ ස්තුතිය පුද කරන බවත්, සිය ප්‍රාන්තය වෙනුවෙන් මෙලෙස ක්‍රීඩා කිරීමට හැකි වීම පිළිබඳව තමන් ආඩම්බරයට පත්වන බවයි.

“මම අපේ කණ්ඩායමේ ඉදිරිය මිස වෙන කිසිම දෙයක් හිතන්නේ නෑ, අපට ඉදිරි වසරවල ශූරතාවයකට යෑමට අවශ්‍ය දක්ෂතාවය තියෙනවා, මම මෙම කාලසීමාව අවසානයේ තිබෙන Marsh Cup තරගාවලිය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා සහ අපගේ තරුණ ක්‍රීඩකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඔවුන්ට උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා.

ලොව පුරා ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටිනවා සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවුන, ඒ වගේම ඕස්ට්‍රේලියානු ටෙස්ට් හිස් වැසුම ඔබට ලබාගැනීමට අපහසුම දෙයක්. මම එය ලබාගැනීමට සමත් වුනත් මට ඒ අවස්ථාව සාර්ථක කරගන්න බැරි වුනා, ඒත් මම ඒ ගැන අතිශය සතුටට පත්වනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

වසර 16ක පළමු පෙළ ගමන තුළ තරග 147ක දී දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් සිය සේවාව ලබා දුන් Callum Ferguson 36.81ක පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගනිමින් ශතක 20ක් සහ අර්ධ ශතක 48ක් සමඟින් ලකුණු 9,278ක් රැස් කිරීමට සමත් වූ අතර Sheffield Shield තරගාවලිය තුළ දී ලකුණු 8,210ක් රැස් කරමින් එම තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

එනමුත් මෙවර තරග වාරයේ මුල් තරගවල දී Ferguson හට සිය කණ්ඩායමේ ස්ථානය අහිමි වූ නමුත් පසුව ඔහුව නැවතත් කණ්ඩායමට කැඳවීමට තීරණය කළ අතර ඔහුගේ සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තේරීම් කමිටු කළමනාකරු ප්‍රකාශ කර සිටියේ Ferguson වසර ගණනාවක් තිස්සේ දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ අතර ඔහු මෙම ප්‍රාන්තය වෙනුවෙන් සිදු කරන ලද සේවාව පිළිබඳව ආඩම්බර විය හැකි බවයි.

Callum Ferguson ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වූ මුල්ම සහ එකම තරගය 2016 වසරේ දකුණු අප්‍රිකාව සමඟ පැවති නමුත් එහි දී ඉනිම් ද්විත්වයේම ලකුණු 10 සීමාව හෝ පසු කිරීමට ඔහු අසමත් වීම නිසාවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<