LPL තරගාවලියට අවසර; තවත් ක්‍රීඩාංගණයක් ඉවතට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

4588

නොවැම්බර් 21 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය අද (4) නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී ඇත. ඒ සෞඛ්‍ය බලධාරීන් සමඟ දින කිහිපයක් තිස්සේ පැවති සාකච්ඡා වට කිහිපයකට පසුවයි.

මීට පෙර නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වූයේ රජය විසින් පනවා තිබෙන නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් මීට මාසයකට පමණ පෙර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

තවත් ක්‍රිකට් පුවත්:

 

නව තරග කාලසටහනට අනුව තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ තරග හම්බන්තොට සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වීම සඳහා මුලින් තීරණය වී තිබූ නමුත් ක්‍රීඩකයින්ගේ Bio Bubbles විටින් විට මාරු කිරීමේ දී තිබෙන ගැටලු නිසාවෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ද මේ වන විට එම තරග කාලසටහනෙන් ඉවත් කිරීම සඳහා තීරණය වී ඇත. ඒ අනුව තරගාවලියේ තරග සියල්ලම හම්බන්තොට දී පැවැත්වෙනු ඇත.

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදු වන්නේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙනි.

තරගාවලිය සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින් හම්බන්තොට මත්තල ගුවන් තොටුපොල හරහා පමණක් ශ්‍රී ලංකාවට ඇතුළු වන අතර විදෙස් ක්‍රීඩකයින් සියලුම දෙනා දින 7ක නිරෝධායන කාලයක් පසු කළ යුතුය. තරග විකාශන කාර්ය මණ්ඩලය ඇතුළු තරගාවලියට සම්බන්ධ වන අනෙක් සියලුම විදේශිකයින් හට දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය කර ඇත.

කෙසේ නමුත් තරග විකාශන කාර්ය මණ්ඩලය සඳහා දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය කර තිබෙන නිසාවෙන් තරගාවලිය පැවැත්වෙන කාල වකවානුව වෙනස් වීමටද යම් ඉඩක් තිබේ.

“මේ තරගාවලිය තියන්න අවශ්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය අද (4) අපිට නිල වශයෙන් ලැබුණා. සෑම දෙනාගේම මතය වූයේ මෙතෙක් පැවති සියලු බාධක මධ්‍යයේ වුවද මෙම තරගාවලිය ඉදිරියට ගෙන යාමයි. මේ තරගාවලිය පැවැත්වීමේ දී ගත යුතු සෞඛ්‍යමය උපදෙස් මාලාව අපිට හෙට (5) දිනයේ දී ලබා දෙන්න සෞඛ්‍ය බලධාරීන් පොරොන්දු වුනා” යැයි තරගාවලියේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.

එසේම ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මේ තරගාවලිය පිළිබඳව දැනුවත් කර ඒ සඳහා අවසර ලබා ගැනීම වෙනුවෙන් හෙට (5) දිනයේ දී ද විශේෂ සාකච්ඡාවක් සූදානම් කර ඇත. 

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් සහාය දක්වන අංශ කිහිපයක ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටත් වඩා COVID-19 වයිරසය දරුණු ලෙස බලපෑ රටවල් කිහිපයක් සාර්ථක ලෙස යළි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නට පසුගිය මාස කිහිපයේ දී සමත් විය. IPL තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මේ දිනවල පැවැත්වෙන අතර පාකිස්තාන හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියත් මේ වන විට පාකිස්තානයේ දී පැවැත්වෙමින් තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<