කොදෙව් – ඉන්දීය සංචාරය CPL කල් දමයි

190
CPL 2019 rescheduled

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (IPL) මෙන්ම ලොව බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමු වන තරගාවලියක් වන කැරිබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (CPL) මෙම වසරේ දී අපේක්ෂා කළ කාලවකවානුවේ දී පැවැත්වීමට නොහැකි බව වාර්තා වේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියක් හේතුවෙනි.

වසීම් අක්‍රම් නොසතුටෙන්

පාකිස්තානයේ ප්‍රබලතම වේගපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන වසීම් අක්‍රම් මෙවර ලෝක කුසලාන..

CPL තරගාවලිය එළඹෙන අගෝස්තු මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත තිබූ නමුත් මේ වන විට එය සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා කල් දමා ඇත. සැප්තැම්බර් 4 වැනිදා ආරම්භ වන තරගාවලිය ඔක්තොම්බර් 12 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට CPL තරගාවලියට මෙන්ම ඉන්දීය තරග සංචාරය සඳහා ද සහභාගී වීමේ අවස්ථාව හිමිකර දීම සඳහා මෙම තීරණය ගෙන ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියට ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග ඇතුළත් වේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට මෙම CPL තරගාවලිය මනා පිටිවහලක් ලබා දී තිබෙන අතර බොහෝ ජාත්‍යන්තර වරම් දිනාගෙන නොමැති යොවුන් කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම CPL තරගාවලියේ ලොව සුපිරි ක්‍රිකට් තරු සමඟ උරෙන් උර ගැටෙමින් ක්‍රීඩා කිරීම වැදගත් කරුණකි.

CPL තරගාවලිය ලොව විශිෂ්ට ක්‍රිකට් ලීග් තරගාවලි අතරින් එකක් බවත්, ඒ හේතුවෙන් ලොව පුරා සිටින විශිෂ්ට ක්‍රීඩකයින් එම තරගාවලියට සහභාගී කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් CPL තරගාවලියේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන පීට් රසල් මාධ්‍ය වෙත පවසා තිබුණි.

කොදෙව් ක්‍රීඩකයින් මෙම තරගාවලියට ක්‍රීඩා කරනු නැරඹීමට බොහෝ ක්‍රීඩාලෝලීන් කැමැත්තක් දැක්වීම හේතුවෙන් ඒ සඳහා අවස්ථාව උදා කිරීමට මෙලෙස තරගාවලිය කල් දැමූ බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<