Taipei මැරතන් තරගයේ ජය කෙන්යානුවෙකුට

126

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් බොහෝ තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදුව ඇති වකවානුවක වාර්ෂිකව පැවැත්වෙන Taipei මැරතන් තරගාවලිය අදාළ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ඊයේ (20) සාර්ථකව පැවැත්වීමට එහි සංවිධායකයින්ට හැකි විය.

එහි දී සියල්ලන්ගේම අවධානය දිනා ගත් පිරිමි මැරතන් තරගය පැය 2:09:18ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාවක් ද සමඟින් ජයග්‍රහණය ලබා ගැනීමට කෙන්යානු ක්‍රීඩක Paul K. Lonyangata සමත් වූ අතර කාන්තා කාණ්ඩයේ තරගය පැය 2:28:31ක කාලයකින් අවසන් කළ ඉතියෝපියානු ක්‍රීඩිකා Askale M. Wegi විසින් ජයග්‍රහණය කිරීමට ද සමත් විය.

පිරිමි කාණ්ඩයේ තරගය ජය ගත් Lonyangata තරගය ජය ගැනීම සහ තරගාවලි වාර්තාව බිඳ හෙළීමට සමත් වීම නිසාවෙන් ඇමරිකානු ඩොලර් 62,000ක මුදල් ත්‍යාගයක් ලබා දීමට තරගාවලියේ සංවිධායකයින් කටයුතු කරන ලදි.

තවත් මලල ක්‍රීඩා පුවත්: 

ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Paul K. Lonyangata ප්‍රකාශ කර සිටියේ මෙය ඔහුගේ මුල්ම මාර්ග ධාවන ජයග්‍රහණය නොවන නමුත් ඔහු ලැබූ ඉහළම මුදල් ත්‍යාගය බවත්, එම මුදල ඔහු විසින් සිය දේශයේ කොරෝනා වසංගතය නිසාවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යෙදවීමට සූදානම් බවයි.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 38,000කට අධික සංඛ්‍යාවක් අයැදුම් කර තිබූ නමුත් කොරෝනා වසංගත තත්වය සලකා බැලීමෙන් අනතුරුව එයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28,000ක් පමණක් තෝරාගැනීමට කටයුතු කළ බව තරගාවලියේ සංවිධායකයින් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

1986 වසරේ සිට පැවැත්වෙන මෙම Taipei මැරතන් තරගය ලෝක මලල ක්‍රීඩා සංගමයේ අනුමත Platinum කාණ්ඩයේ තරගාවලියක් ද වන අතර ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වන මෙම තරගාවලිය Taipei නගරයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය ලෙස ද හැදින්විය හැකියි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<