දෛවයට අභියෝග කළ ක්‍රීඩා පිටියේ විශිෂ්ටයන්

311

උපතේ දී හෝ යම්කිසි හේතුවක් නිසාවෙන් දිගුකාලීන දරුණු රෝගයන්ට හෝ ආබාධයන්ට ලක් වීම නිසාවෙන් සිය සිහින සියල්ලටම තිත තබන මිනිසුන් බොහෝමයක් අප ලෝකයේ දැක ගත හැකි නමුත් එම සියලූම අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් සිය සිහිනය යථාර්ථයක් කර ගත් මිනිසුන් රැසක් ද අපට දැකගත හැක.

ක්‍රීඩා පිටිය දෙස අවධානය යොමු කිරීමේ දී ද එවැනි රෝගාබාධ නිසාවෙන් තම ක්‍රීඩා දිවියට තිත තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් අතරේ එම රෝගාබාධයන්ට තම සිතේ ශක්තියෙන් පිළිතුරු දෙමින් ක්‍රීඩා දිවියේ ජයග්‍රහණ ලබාගැනීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතලොස්සක් ද දැක ගැනීමට හැකියි.

තම ක්‍රීඩා දිවියට පැමිණි විශාල අභියෝග ජය ගනිමින් ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයක් පිළිබඳවයි අප අවධානය යොමු කරන්නේ.

Eric Lee Shanteau – U.S.A

පිහිනුම් ඉසව් නියෝජනය කරමින් යොවුන් වියේ සිටම ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ඇමරිකානු පිහිනුම් ක්‍රීඩක Eric Lee Shanteau 2004 ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයන්හී තරමක දස්කම් දැක්වීමට සමත් වූවත් ඉතා සුළු කාලයකින් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ඔහුට අහිමි විය.

පසුව ඇමරිකාව නියෝජනය කරමින් 2005 World University Games සඳහා සහභාගී වූ ඔහු එහි දී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ අතර එතැන් පටන් දැක්වූ ඉහළ දස්කම් නිසාවෙන් 2008 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට Eric සමත් විය.

නමුත් ඔලිම්පික් උළෙල ආරම්භ වීමට සතියක පමණ කාලයක් තිබිය දී testicular cancer රෝගයෙන් පෙළෙන බව දැන ගැනීමට ලැබුණු අතර තරගාවලියට සහභාගි නොවී හැකි ඉක්මනින් එයට ශල්‍යකර්මයක් සිදු කරගන්නා ලෙස වෛද්‍යවරුන් ඔහුට දැඩි ලෙස උපදෙස් ලබා දෙන ලදි.

Eric Lee Shanteau

නමුත් ශල්‍යකර්මය පසෙකට දමා තම සිහිනය වූ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට තීරණය කළ Eric, 2008 ඔලිම්පික් උළෙලේ 200-meter breaststroke ඉසව්වට සහභාගි වෙමින් මිනිත්තු 2:10.10ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූවත්, පදක්කමක් දිනා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත.

එම තරගාවලිය නිමා වී පැමිණීමෙන් පසුව ශල්‍යකර්මයට මුහුණ දී ඉතා සාර්ථකව සිය පිළිකා රෝගී තත්වයෙන් මිදීමට Eric Lee Shanteau සමත් විය.

පසුව 2009 වසරේ දී පිහිනුම් පිටියට පැමිණි ඔහු 2009 ලෝක ශූරතාවයේ දී 200-meter breaststroke රිදී පදක්කමත්, 200-meter individual medley ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් වූ අතර 100×4 -meter medley relay කණ්ඩායම සමඟ එක්වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය (මිනිත්තු 3:27.28).

එම ජයග්‍රහණයෙන් පසු සිය අවසන් ඔලිම්පික් උළෙල ලෙස 2012 ඔලිම්පික් උළෙල නියෝජනය කළ Eric Lee කේවල අංශයෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට අසමත් වූ නමුත් 100×4 -meter medley relay තරගය නියෝජනය කරමින් සිය මුල්ම ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

Novlene Williams-Mills – Jamaica

ජැමෙයිකාව නියෝජනය කරමින් මීටර් 400 පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ Novlene Williams-Mills 2004 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ දී මීටර් 400×4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීම හරහා ජාත්‍යන්තර පිටියට අවතීර්ණ විය.

එම ජයග්‍රහණයෙන් පසුව ද 2005, 2007, 2009 ,2011 වසරවල ද ජැමෙයිකානු 400×4 කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූ ඇය සිය කණ්ඩයම සමඟින් 2008 ඔලිම්පික් උළෙලේ දී මීටර් 400×4 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

පසුව මීටර් 400 ඉසව්වේ දස්කම් නිසාවෙන් 2012 ඔලිම්පික් උළෙල සඳහා ද සුදුසුකම් ලැබීමට ඇය සමත් වූවත්, ඔලිම්පික් උළෙල ආරම්භයට මාස කිහිපයකට පෙර ඇය පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැන ගැනීමෙන් පසුව ඇයට හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් සිදු කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙන ලදි.

නමුත් එම සිදුවීම රහසක් ලෙස තබා ගත් Williams-Mills ශල්‍යකර්මය කිරීම පසෙකට දමා ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට තීරණය කළ අතර ඇය සිය රෝගී තත්වය යටතේ තරග කරමින් මීටර් 400×4 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සිය කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදි.

Novlene Williams-Mills

පසුව, 2013 වසරේ දී සිය රෝගී තත්වය නිසාවෙන් පිටියෙන් ඉවත් වූ ඇය ශල්‍යකර්මයකට භාජනය වීමෙන් අනතුරුව එම පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුව වීමට ඇයට හැකි වූ අතර 2014 වසරේ දී නැවත වරක් ඇය ධාවන පථයට පැමිණීමට තිරණය කළාය.

නැවතත් ක්‍රීඩා පිටිය හා එක්වීමෙන් අනතුරුව සාර්ථකව දස්කම් දැක්වීමට සමත් වූ ඇය සිය කණ්ඩායම සමඟින් එක්ව 2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර් 400×4 රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය.

එම ජයෙන් පසුව නැවත වරක් මීටර් 400×4 ඉසව්ව නියෝජනය කරමින් 2016 ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ඇය 2017 ලෝක ශූරතාවයෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කරන ලදි.

Wilma Rudolph – U.S.A

1940 ජුනි 23 ඇමරිකාවේ දී උපත ලැබූ Wilma Rudolph කුඩා කල සිටම ඇතිවූ රෝගී තත්වයන් සහ පෝලියෝ රෝගයට ගොදුරු වීම නිසාවෙන් වයස අවුරුදු පහේ දී ඇය අංශභාග තත්වයට ලක්විය.

පෝලියෝ රෝගය සමඟ සටන් වැදී එයින් බේරීමට ඇය සමත් වූවත් එම රෝගයේ අතුරු ඵලයක් ලෙස ඇයගේ වම් පාදය අප්‍රාණික වූ නිසාවෙන් ඇයට කිසිදු දිනක නැවත ඇවිදීමට අවස්ථාවක් හිමි නොවනු ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නට ද විය.

එමෙන්ම ඇය කළු ජාතිකයෙක් වීම නිසාවෙන් ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් අකැමැත්ත පල කිරීම වැනි බොහෝ කරුණු නිසාවෙන් පීඩා විදීමට සිදු වූ ඇය හට ප්‍රතිකාර ලබාගැනීම සඳහා සතියකට වරක් සැතපුම් 50ක් දුර පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යෑමට සිදු විය.

එලෙස අපමණ අභියෝග සමඟින් සටන් වැදි Wilma වයස අවුරුදු 12ක් වන විට වෛද්‍යවරුන්ගේ මතය පරාජය කරමින් කිසිදු ආධාරකයක් නොමැතිව ඇවිදීමට සමත් වූ අතර ඉතා කෙටි කාලයක් තුළ දී බොහෝ ක්‍රීඩාවන්ගේ ද ඉහළ දස්කම් දැක්වීමට ඇය සමත් විය.

එම දස්කම් සමඟින් ළාබාල වියේ දී ම ඇමරිකානු මලල ක්‍රීඩා සංචිතය සමඟින් එක්වීමට සමත් වූ ඇය වයස අවුරුදු 16 දී ඔලිම්පික් වරම් දිනා ගනිමින් මීටර් 100×4 සහය දිවීමෙන් ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

Wilma Rudolph ඔලිම්පික් තරගාවලිය අතරතුර දී

පසුව දිගින් දිගටම දැක්වූ දස්කම් නිසාවෙන් 1960 ඔලිම්පික් උළෙල සඳහා තේරීපත්වීමට සමත් වූ Wilma මීටර් 100 ඉසව්ව තත්පර 11.18ක කාලයකින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 24.13ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

1960 ඔලිම්පික් උළෙලේ සිය අවසාන ඉසව්ව ලෙස මීටර් 100×4 කාන්තා සහය දිවීමේ තරගය නියෝජනය කරමින් ද රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ Wilma ඔලිම්පික් උළෙලක දී රන් පදක්කම් තුනක් දිනූ මුල්ම කාන්තාව ලෙස ද ඉතිහාස ගත විය.

ඇවිදීම පවා අවිනිශ්චිතව තිබී කෙටි කාලයක් තුළ දී ලොවම පුදුමයට පත් කරමින් කෙටිදුර ධාවනයේ කිරුළ දැරීමට සමත් වූ Wilma Rudolph 1964 වසරේ දී වයස අවුරුදු 22ක් පමණක් වන විට සියල්ලන් පුදුමයට පත්කරමින් ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කරන ලදි.

තවත් විශේෂාංග ලිපි:

Santiago Lang- Argentina

ආජන්ටිනාව නියෝජනය කරමින් Sailing ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ Santiago Lang සිව් වතාවක් Sailing තරගයන්හී විවිධ කාණ්ඩ නියෝජනය කරමින් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම 1988, 1996, 2000, 2004, 2008 වසරවල දී Sailing ඉසව්ව නියෝජනය කරමින් ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ Santiago Lang 2004 සහ 2008 ඔලිම්පික් උළෙලවල දී Tornado ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

පසුව සිය හයවැනි සහ අවසාන ඔලිම්පික් උළෙල ලෙස 2016 ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වීමට වසරකට පෙර ඔහු හට පෙනහළු පිළිකාවක් ඇති බව තහවුරු වූ අතර එම පිළිකාව නිසාවෙන් ඔහුගේ වම් පෙණහැල්ල සම්පූර්ණ වශයෙන්ම විනාශ වී ඇති බව ද වෛද්‍යවරුන් ප්‍රකාශ කරන ලදි.

එනමුත් සිය රෝගී තත්වය සැලකිල්ලට නොගත් Santiago Lang සිය මුල්ම ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමේ අදිටනින් Sailing තරගයන්හී Nacra 17 ඉසව්ව නියෝජනය කරමින් 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට තීරණය කරන ලදි.

Santiago Lang සහ Cecilia Carranza Saroli 2016 ඔලිම්පික් උළෙලේ දී

සම්පූර්ණ වශයෙන් විනාශ වූ වම් පෙණහැල්ල ද සමඟින් එම ඉසව්ව සඳහා එක් වූ Santiago Lang සිය කණ්ඩායම් සහකාරිය වූ Cecilia Carranza Saroli සමඟ එක්ව ඉතා කැපී පෙනෙන දස්කම් දක්වමින් සිය වයස අවුරුදු 54 දී මුල්ම ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ක්‍රීඩා පිටියේ විවිධ ක්‍රීඩා අංශයන්හී ඉතා දරුණු අභියෝග පරාජය කරමින් සිය සිහින ජය ගත් ක්‍රීඩිකාවන් පිළිබඳව තොරතුරු දැක ගැනීමට හැකියි.

ඉතා සුළු හේතූන් නිසාවෙන් සිය ඉලක්ක/ සිහිනවලට තිත තබන මිනිසුන් අතරේ විශාල අභියෝග පවා සිතේ ධෛර්යයෙන් ජය ගනිමින් තම සිහින සපුරා ගන්නා ආකාරය මෙම ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියෙන් අපට ගත හැකි ආදර්ශයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<