මලල ක්‍රීඩා පිටියේ ශූරයන් තේරීමේ සටනට සියල්ල සූදානම්

204

මෙරට දේශීය මලල ක්‍රීඩා පිටියේහි පැවති වසරකට ආසන්න තරගාවලි ඉඩෝරයට තිත තබමින් මෙම වසරේ පැවැත්වෙන එකම මලල ක්‍රීඩා තරගාවලිය ලෙස ‘98 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය’ ලබන සතියේ දී පැවැත්වීමට සියල්ල සූදානමින් පසුවේ. 

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් දැඩි අභියෝගාත්මක වටපිටාවක පැවැත්වෙන මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී මෙම මස 26 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. 

නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ලොවටම බලපෑ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සිය දස්කම් මැන ගැනීමට හෝ කිසිඳු අවස්ථාවක් හිමි නොවුනු නිසාවෙන් මෙම ක්‍රීඩා උළෙල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉතාමත් වැදගත් ක්‍රීඩා උළෙලක් වනු ඇත. 

වර්තමානයේ පවතින තත්වය නිසාවෙන් මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සූදානම් කර ඇති අතර ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සියල්ලන්ටම බලපාන පරිදි පොදු උපදෙස් මාලාවක්ද ඔවුන් විසින් ඉදිරිපත් කර තිබුනි. 

තවත් මලල ක්‍රීඩා පුවත් කියවන්න

එමෙන්ම මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සියල්ලම තරග පැවැත්වෙන දිනයන්හි කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයට පැමිණිය යුතුව ඇති අතර එතැන් සිට විශේෂ බස් රථ සේවාවක් මඟින් එම සියලු දෙනා සුගතදාස ක්‍රීඩාංගණය වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කර ඇත. 

කෙසේ නමුත් අවසර ලත් සීමිත පිරිසකට අමතරව වෙනත් කිසිඳු අයෙකුට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවසර හිමි නොවන අතර තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් හුදෙකලා කර පැවැත්වෙනු ඇත. 

මෙවර ජාතික මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව සියලු තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානමින් පසුවේ. රැඳී සිටින්න, ThePapare.com සමඟම

 මලල ක්‍රීඩා සංගමය විසින් ඉදිරිපත් කල උපදෙස් මාලාව, Click here

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්නමලල ක්‍රීඩා පිටුවට <<