බර ඉසිලීමේ ජාතික වාර්තා 5ක් බිඳ වැටේ

ජාතික බර ඉසිලීමේ ශූරතාවය 2022

94

නොවැම්බර් 10 වැනිදා සිට 13 වැනිදා දක්වා පොලොන්නරුවේ දී පැවති ජාතික බර ඉසිලීමේ ශූරතාවය අවසන් වෙද්දී ජාතික වාර්තා පහක් බිඳ හෙළීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

මෙම තරගාවලියට රට පුරා සිටි තරගකරුවන් රැසක් තරග වැදුණු අතර එයට අවුරුදු 50ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වී තිබීම විශේෂත්වයක්.

තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් දක්ෂතම බර ඉසිලීමේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට, පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභී, ඉසුරු ඩිලංකට හැකි වුනා.

පිරිමි කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ තරග වැදුණු ඉසුරු එහි දී කිලෝග්‍රෑම් 116ක් ඔසවමින් ජාතික වාර්තාවක් බිඳ හෙළීමට සමත් වූ අතර Clean and Jerk ඉසව්වේ ද ඔහු ජාතික වාර්තාවක් බිඳ හෙලුවේ කිලෝග්‍රෑම් 141ක දස්කමක් දක්වමිනුයි.

එමෙන්ම බර පන්තියේ සමස්ත කිලෝග්‍රෑම් 257ක දස්කමක් දැක්වීමට ඔහුට හැකි වූ අතර එය ද ජාතික වාර්තාවක් වීම විශේෂත්වයක්.

ජාතික බර ඉසිලීමේ නායක මෙන්ම 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය රිදී පදක්කම්ලාභී ඉන්දික දිසානායක ද නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුනේ කිලෝග්‍රෑම් 73 බර පන්තියේ කිලෝග්‍රෑම් 135ක දස්කමක් දක්වමිනුයි.

තරගාවලියේ අනෙක් ජාතික වාර්තාවට බිඳ හෙලුවේ ගුවන් හමුදා ක්‍රීඩක රුචිත ජයසේනයි.

කිලෝග්‍රෑම් 81 බර පන්තියට යටතේ තරග වැදි ඔහු කිලෝ 138ක බරක් ඉසිලීමට සමත් වූ අතර ඔහු එම කාණ්ඩයේ Clean and Jerk ඉසව්වේ ද කිලෝග්‍රෑම් 160ක දස්කමක් දැක්වූවා.

පිරිමි වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම බර ඔසවන්නා ලෙස කේ. කුමාර සම්මාන දිනා ගද්දී එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුනේ ආර්. ලක්සරනි ක්‍රීඩිකාවයි.

යුද හමුදා ක්‍රීඩක ඩී. සෝමතිලක වයස අවුරුදු 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වෙද්දී එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එම්. ප්‍රේමරත්න සම්මාන ලැබුවා.

සමස්ත තරගාවලියේ විවෘත කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉසුරු ඩිලංක සම්මාන ලබද්දී, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවේ නාවික හමුදා ක්‍රීඩිකා සී. එම්. වර්ණකුලසූරියයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<