ආසියාව දින්න අපේ ශූරියන්ගේ වීර චාරිකාව

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

284

ආසියාවේ ප්‍රබලතම දැල්පන්දු කණ්ඩායම ලෙසින් 2018 වසරේ සිට විවාදිත ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ 2022 ආසියානු දැල්පන්දු ශූරතාවලියට සිංගප්පූරුව බලා පිටත් ව ගියේ එහි අභිමානය තව දුරටත් තමන් සන්තක කර ගැනීමේ අපේක්ෂාවෙන්.

ලෙහෙසිත් නොවුණු, එහෙත් අපහසුත් නොවුන එකී අපේක්ෂාව මුදුන් පමුණුවා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවෝ පිට පිට ම  දෙවැනි වතාවටත් ආසියානු දැල්පන්දු ශූරියන් බවට පත් වුනා.

ආසියානු දැල්පන්දු ඉතිහාසයේ  වැඩිම වාර ගණනක් ශූරතාව දිනා ඇති රට වන්නේත් ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව එහි ශූරතාව 6 වතාවක් දිනා තිබෙනවා. ඊට අමතර ව දිනා ගත් අනුශූරතා 4ක් සහ තෙවැනි ස්ථාන 2ක් ද ඒ අතර තිබෙනවා.

මේ ජයග්‍රහණයත් සමඟින් එළඹෙන වසරේ දකුණු අප්‍රිකාවේ Cape Town හිදී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය දැල්පන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ආසියානු දැල්පන්දු ශූරතාවලි
වසර සත්කාරකත්වය ශූරතාව අනු ශූරතාව තෙවැනි ස්ථානය
1 1985 මලයාසියාව මලයාසියාව ශ්‍රී ලංකාව සිංගප්පූරුව
2 1989 ඉන්දියාව ශ්‍රී ලංකාව සිංගප්පූරුව මලයාසියාව
3 1993 හොං කොං හොං කොං සිංගප්පූරුව ශ්‍රී ලංකාව
4 1997 සිංගප්පූරුව ශ්‍රී ලංකාව මලයාසියාව සිංගප්පූරුව
5 2001 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව සිංගප්පූරුව මලයාසියාව
6 2005 සිංගප්පූරුව සිංගප්පූරුව මලයාසියාව ශ්‍රී ලංකාව
7 2009 මලයාසියාව ශ්‍රී ලංකාව සිංගප්පූරුව මලයාසියාව
8 2012 ශ්‍රී ලංකාව සිංගප්පූරුව ශ්‍රී ලංකාව මලයාසියාව
9 2014 සිංගප්පූරුව සිංගප්පූරුව ශ්‍රී ලංකාව මලයාසියාව
10 2016 තායිලන්තය මලයාසියාව ශ්‍රී ලංකාව සිංගප්පූරුව
11 2018 සිංගප්පුරුව ශ්‍රී ලංකාව සිංගප්පූරුව මලයාසියාව
2020 කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලිය පැවැතියේ නැහැ
12 2022 සිංගප්පූරුව ශ්‍රී ලංකාව සිංගප්පූරුව මලයාසියාව

ශ්‍රී ලංකාව ආසන්නත ම ශූරියන් ලෙස තරගාවලියකට සහභාගී වීමේ දී ඔවුන්ට වන පීඩනය අමුතුවෙන් පැවසිය යුතු නොවේ. නමුත් ඔවුන් ඊට ඉතා නිර්භයව මුහුණ දුන්නා. පළමු තරගයේ සිට ම ඔවුන් පෑ දක්ෂතා ඉතා විශිෂ්ට බැව් අමුතුවෙන් පැවසිය යුතු නැහැ.

ඔවුන් මෙම තරගාවලියේ දී තම අදහස් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් කෙතරම් නම් දායකත්වයක් දැක්වූවා ද යත්, සෑම තරගයක දී ම විශාල ලකුණු ප්‍රමාණයක් කරා යෑමට උත්සාහ කළා. එමෙන් ම සෑම විට ම ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටීමටත් වගබලා ගත්තා. ප්‍රතිවාදීන් පාලනය කරමින් ඔවුන්ගේ හඹා යෑම් වළක්වමින් වැඩි කාලයක් තමන් වෙත ම වාසිය තබා ගැනීමට සෑම අවස්ථාවක ම උත්සාහ කළා. ඒ තරග රටාව ප්‍රශංසනීයයි.

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා ගමන් මඟ
ප්‍රතිවාදීන් 1 වැනි වටය 2 වැනි වටය 3 වැනි වටය 4 වැනි වටය අවසන් ලකුණු පුවරුව
1 ඉන්දියාව 34-02 24-01 21-07 23-04 102-14
2 පිලිපීනය 27-04 25-12 27-09 20-09 99-37
3 හොං කොං 17-07 15-09 09-05 26-22 67-43
4 සිංගප්පූරුව 13-19 14-11 19-08 17-15 63-53

(පළමුව දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි)

මේ තරග අතරින් වඩාත් තරගකාරී තරගය වූයේ අවසන් මහා තරගයයි. ආසන්නත ම වසරේ අනුශූරියන් වූ සිංගප්පූරුව මේ තරගයේ පළමු වට දෙකේ දී ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියට පැමිණෙමින් අනපේක්ෂිත පීඩනයක් අපේ ක්‍රීඩිකාවන් වෙත එල්ල කළා.

නමුත් වහා එම තත්ත්වයෙන් මිදීමට හැකි වීම අපේ ක්‍රීඩිකාවන් ලත් භාග්‍යයක්. විශේෂයෙන් ම පළපුරුදු ක්‍රීඩිකාවන් හා එක් වූ නවක ක්‍රීඩිකාවෝ තරගයේ පාලනය ප්‍රතිවාදීන් වෙතින් තමන් වෙත නතු කර ගැනීමේ දී දැක්වූ දායකත්වය සුපිරියි. ඊටත් වඩා තම කණ්ඩායම පසුබැස සිටි අවස්ථාවේ දී සැලසුම් සහගත ලෙස නැවත තරගයට අවතීර්ණ වීමට කළ මෙහෙයුම අවසන් මහා තරගයක දුටු මනරම් ම දසුනයි.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම: ගයංජලි අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උප නායිකාව), තර්ජනී සිවලිංගම්, සේමිනී අල්විස්, හසිතා මෙන්ඩිස්, ඉදුෂා ජනනි පෙරේරා, රෂ්මි දිව්‍යාංජලී පෙරේරා, භාෂිනී ද සිල්වා, චතුරංගි ජයසූරිය, මල්මි හෙට්ටිආරච්චි, ගයානි දිසානායක, දීපිකා දර්ශනී අබේකෝන්

මේ කණ්ඩායමේ පෙර පළපුරුදු නායිකාවන් වූ ගයානි දිසානායක, සේමිනි අල්විස්, තර්ජණි සිවලිංගම් සහ චතුරංගි ජයසූරිය ද සිටීම වඩාත් වාසිදායක වුනා.

කෙසේ වෙතත් කණ්ඩායමේ කිසිවෙක් 2019 ලෝක කුසලාන තරගාවලියේ පසුව කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොසිටීම බලවත් පාඩුවක් වූනා. ඒ නිසා ම ඔවුන්ට මෑත කාලීන ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් තිබුණේ නැහැ. එබැවින් ඔවුන්ට සිදු වූයේ මෙම තරගාවලියේ දී ප්‍රතිවාදීන් ලෙස හමුවෙන ඒ ඒ කණ්ඩායම් සමඟම එක් වීමෙන් එම අත්දැකීම් ලබා ගැනීමටයි.

එය ම ප්‍රමාණවත් කර ගනිමින් තරගාවලිය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිතව සිටීමට සමත් වූවා. එහි දී නායිකා ගයංජලි අමරවංශ සහ උප නායිකා දුලංගි වන්නිතිලක කණ්ඩායම මෙහෙයවීමේ දී කැපී පෙනෙන මෙහෙවරක නිරත වුනා. විශේෂයෙන් ම පන්දු විදින්නිය ලෙසින් කටයුතු කළ තර්ජනී ශිවලිංගම් වෙතින් උපරිම දායකත්වයක් ලබා ගැනීමට හැකි ආකාරයෙන් කණ්ඩායම මෙහෙයවීමටත් අවශ්‍ය අවස්ථාවල දී ප්‍රතිවාදීන්ගේ හඹා යෑම් වැළැක්වීමටත් ඔවුන්ට හැකි වීම ප්‍රශස්තයි.

ඔවුන්ට අමතර ව ගයානි දිසානායක, චතුරංගි ජයසූරිය, සෙමිනි අල්විස් සහ මල්මි හෙට්ටිආරච්චි ද ජයග්‍රාහී කණ්ඩායමේ කැපී පෙනෙන මෙහෙවරක නිරත වුනා. අනෙකුත් ක්‍රීඩිකාවන් ද මේ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වූ අතර පිටිය මැද දී සේ ම පිටියෙන් පිටත දීත් ඔවුන්ගේ සේවය නොඅඩුව ලැබීම අගය කළ යුතුයි.

මේ සියලු දෙනා සමඟින් ජයග්‍රහණයේ පිටුපස සිටි යෝධ හස්තය වූයේ පුහුණුකාරිණි හයිසින්ත් විජේසිංහ. ඇයගේ මනා මඟ පෙන්වීමත් සහ ක්‍රීඩිකාවන් ආදේශ කිරීමේ දී දැක්වූ සුවිශේෂත්වයත් කදිමයි. එමෙන් ම නොයෙකුත් ප්‍රශ්න පැවතිය දී ද කණ්ඩායම එකලස් කිරීමේ දී තේරීම් කමිටු සභාපති දමයන්ති ජයතිලක දැක්වූ දායකත්වයත් සහ වගකීමත් අගය කළ යුතුයි. එමෙන් ම දැල්පන්දු සංගමයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි ද මේ වෙනුවෙන් දැක්වූ දායකත්වය කදිමයි.

එහෙත් ලැබූ මේ ජයග්‍රහණය සමඟින් ජයග්‍රහණය කළ යුතු තවත් දෙයක් තිබේ. ඒ දැල්පන්දු පරිපාලනයයි. වසර කිහිපයක් තිස්සේ ම අප දැල්පන්දු පාලනයේ දී අහන්නේ දකින්නේ කණ්ඩායම් පොරයක්.

දැන් කළ යුත්තේ එකිනෙකා හා පවතින මත ගැටුම් ඉවත දා දැල්පන්දු හරි මාවතට ගැනීමටයි. වික්ටෝරියා ද වෙනත් කෙනෙක් ද, හයසින්ත් ද වෙනත් කෙනෙක් ද, දමයන්ති ද වෙනත් කෙනෙක් ද හෝ ගයංජලී ද වෙනත් කෙනෙක් ද නොව දැල්පන්දු ක්‍රීඩාවේ පැවැත්මට අවශ්‍ය කවුරුන් ද ඔවුන් ක්ෂේත්‍රයට ගෙන ඒමයි කළ යුත්තේ.

හැර ගිය නිලධාරීන් ද දැන් කළ යුත්තේ “නයා හුඹස හැර යන තුරු සිට එය අත් පත් කර ගැනීමේ” න්‍යායෙන් මිදී එක් ව වැඩ කිරීමට හැකි සම්මුතියකට පැමිණීමයි.  මේ සියලු ම දෙනා දන්න කියන අය බැවින් එහි වැඩි අපහසුවකුත් නෑ.

දැල්පන්දු පරිපාලනය කුමන තත්ත්වයක පැවතියත් ආසියානු තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන්ට නම් එය ප්‍රශ්නයක් ව තිබුණේ ම නැති තරම්. ඔවුන් එකාවන් තරගාවලියට එක් වෙමින් ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කළා. ඔවුන්ට තරගාවලිය ආරම්භයේ සිට ම අවශ්‍ය ව තිබුණේ ජයග්‍රහණය ම පමණයි. එය ඔවුන් හරි අපූරුවට සිදු කළා. ඒ නිකං ම නිකං නොවේ, අපරාජිතව සිටිමින්.

ඒ ජයග්‍රහණය සලකා හෝ මෙතැන් සිටවත් දැල්පන්දු පරිපාලනය වඩාත් මටසිළුටු වන්නේ නම් එය රටක් ලෙස මේ ලැබූ ජයග්‍රහණයටත් වඩා ජයග්‍රහණයක් බැව් සිතේ. මේ ලැබූ ජයග්‍රහණයත් සමඟ ඔවුන්ගේ අනාගතය සේ ම දැල්පන්දු ක්‍රීඩාවේ ද අනාගතය සුරක්ෂිත කිරීම දැල්පන්දු සේ ම මෙරට ක්‍රීඩා පාලකයන්ගේ ද වගකීමක් බැව් අවසන් වශයෙන් සටහන් තබමු.

ආසියානු කිරුළ මෙරට නැවත වරක් රැගෙන ආ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ThePapare.com කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<