වාර්තා පෙරළු ඉනිම ගැන එංගලන්ත ක්‍රීඩකයින්ගේ අදහස්

1321

එංගලන්තය සහ නෙදර්ලන්තය අතර ඊයේ (17) පැවති තරගය වාර්තා පොත් කිහිපයක්ම අලුත් කිරීමට සමත් වුනා.

2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තැඹිළි හිස්වැස්මේ හිමිකරුවා වන Jos Buttler සිය පිත්ත නැවතත් ක්‍රියාත්මක කරමින් එංගලන්තයට නායකත්වය දුන්නේ ඔවුන් ඉතිහාසයේ ප්‍රථම වරට එක්දින ඉනිමක දී ලකුණු 500 සීමාවට යන්තම් ආසන්න වෙමින්.

නෙදර්ලන්තයට එරෙහිව ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 498ක්. එය එක්දින තරගයක දී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එංගලන්ත ඉනිම Philip Salt, Dawid Malan සහ Jos Buttler වාර්තා කළ ශතක තුනකින් වර්ණවත් වුනා.

මෙම දස්කම එක්දින තරගවල දී සිදු වූ තුන්වැනි අවස්ථාව වන අතර දකුණු අප්‍රිකාව හැර වෙනත් කණ්ඩායමක් විසින් එම දස්කම දැක්වූ පළමු අවස්ථාව ද මෙයයි.

තරගයේ අවසන් පන්දුවාර තුළ අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ Liam Livingstone පන්දු 22ක දී නොදැවී ලකුණු 66ක් වාර්තා කරමින් කණ්ඩායම ලකුණු 500 ආසන්නයට ගෙන යාමට සමත් වුනා.

අපිට ලකුණු 500 රැස් කරගැනීම කාලය ගැන ප්‍රශ්නයක් විතරයි. මම දන්නේ නැහැ අපි ඒක කවදා කරාවි ද කියලා. ඒත් අපි ඒක දිගටම කරන්න උත්සාහ කරනවා”, තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් Jos Buttler පවසා සිටියා.

එය කුඩා පිටියක පිතිකරුවන්ට සහය දෙන කඩුල්ලක සිදුවේවි”, Jos Buttler පවසනවා.

නෙදර්ලන්තයේ Amstelveen හි VRA ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුනා. මීට පෙර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව ද එංගලන්තය සතු වුනා.

ඔවුන් 2018 වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 481ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීමට සමත් වුනා. එක්දින පිටියේ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද එංගලන්තය සතු වන අතර ඒ 2016 දී පාකිස්තානයට එරෙහිව ලකුණු 444ක් වාර්තා කරමින්. මෙම තරග දෙකම නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ්හි දී පැවැත්වුනා.

අපි මීට පෙර එක් වරක් 500 ආසන්නයට ආවා. කණ්ඩායමේ උත්සාහය වන්නේ සීමාවන් තල්ලු කරමින් මේ ලකුණු ගණන ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන එක. තරගය ඉදිරියට ගෙන යන්න අපි උත්සාහ කරනවා”, Jos Buttler පවසනවා.

ඊයේ තරගයේ දී Jos Buttler පන්දු 70ක් තුළ ලකුණු 162ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පන්දු 47ක දී සිය ශතකය වාර්තා කළ අතර එංගලන්තය වෙනුවෙන් වේගවත්ම ශතක තුනම Jos Buttler සතු වෙනවා. එම ශතක තුනම පන්දු 50කින් හෝ ඊට අඩුවෙන් වාර්තා කරගෙන තිබීම විශේෂත්වයක්.

මම හිතන්නේ ලොකුම දේ ලකුණු නෙමෙයි. වැදගත් වෙන්නේ අපි කණ්ඩායමක් ලෙස පෙන්වන මානසිකත්වයයි. අපි ක්‍රීඩා කරද්දී ඒක වඩා හොඳින් පෙන්වන්න උත්සාහ කරනවා.”

මෙම තරගයේ දී එංගලන්ත කණ්ඩායම හතරේ පහර 36ක් සහ හයේ පහර 26ක් වාර්තා කර තිබුණා. එය එක් ඉනිමක වැඩිම හයේ සහ හතයේ පහර සඳහා වන වාර්තාව ද පිහිටුවීමට සමත් වුනා. ඉන් හයේ කිහිපයක්ම ඇම්ස්ටර්ඩෑම් නගරයට නුදුරින් පිහිටි මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටතට ගොස් තිබුණා.

Liam Livingstone මෙම තරගයේ දී එක් පන්දුවාරයක් තුළ ලකුනු 32ක් වාර්තා කළ අතර එය එංගලන්තය එක්දින ක්‍රිකට් පිටියේ එක් පන්දුවාරයකින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

Liam Livingstone පන්දු 17ක දී ලකුණු 50 වාර්තා කළ අතර එය දෙවන වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව සම කිරීමට සමත් වුනා. වේගවත්ම එක්දින අර්ධ ශතකය සඳහා වන වාර්තාව AB de Villiers සතු වන අතර එය පන්දු 16කින් වාර්තා වී තිබුණා.

කෙසේ වෙතත් එංගලන්ත නායක Eoin Morgan පළමු පන්දුවෙන්ම දැවී ගියා. තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු Jos Buttler ප්‍රශංසාවට ලක් කර තිබුණා.

“Jos Buttler ක්‍රීඩා කළේ ඔහුගේම ලෝකයක. ඔහු පසුගිය වසර හෝ වසර දෙක තුළ ලබා ගත්ත රිද්මය අපි දැක්කා”, Morgan පවසා සිටියා. මෙම ශතකය Buttlerගේ 10 වැනි ශතකය වන අතර ඔහු අර්ධ ශතක 20ක් ද වාර්තා කරගෙන තිබෙනවා.

මේ ඉනිම නැරඹීම ඇදහිය නොහැකි තරම් දෙයක්. මේ ඉනිම සුළුකොට තැකිය යුතු දෙයක් නොවේ. එය ඇත්තෙන්ම පුදුම ඉනිමක්. ඔහු මේ මොහොතේ ලෝකයේ සිටින හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා වීමට හේතුවත් එයයි”, Eoin Morgan පවසනවා.

තවත් එක්දින තරග දෙකක් නෙදර්ලන්තයේ ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබෙනවා. එම තරග දෙකේ දී 500 බාධකය බිඳ දැමීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි එංගලන්ත ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් පසුවනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<