“හැමෝම ගංජා ගහනවා” – ඩුරාන්ට්

759
Getty

පැසිපන්දු ශූර කෙවින් ඩුරාන්ට් පවසන්නේ තමන්ගෙන් කංසා ගන්ධයක් පැමිණියහොත් NBA කොමසාරිස්වරයාට කළ හැකි යමක් නොවනු ඇති බවයි.

NBA (National Basketball Association) විසින් NBA ක්‍රීඩකයන්ට පනවා තිබූ “ගංජා පානය තහනම්” නීතිය පසුගිය දා ඉවත් කරනු ලැබුවා.

මම ඇතුළට එනකොට ඔහුට ගංජා සුවඳ දැනෙන්නට ඇති. මට කියන්නට ඒ තරම් දෙයක් තිබුනේ නෑ. දන්නවනේ මම කියන්නේ මොනවද කියලා?” ඔහු BBC වෙත පැවසුවා.

34 හැවිරිදි ඩුරාන්ට් පවසන්නේ NBA තුළ එය මේ වනවිට වයින් මෙන් සාමාන්‍යකරණය වී ඇති බවයි.

NBA ක්‍රීඩකයන්ට ගංජා නොහොත් කංසා පානය කිරීමට තිබූ තහනම පසුගිය මාසයේ දී ඉවත් කෙරුණා. ලොව ගංජා ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩි වැඩ කොටසක් සිදු කරන “ස්නූප් ඩෝග්” වැනි හිප්-හොප් කලාකරුවන් පවසන්නේ, දැන් ඔවුන්ට ඔවුන් භාවිතා කරන එන්නත් සහ බෙහෙත් පෙති වලින් ඉවත් වීමට හැකි වන බැවින් එය සෞඛ්‍යය අතින් වාසිදායක බව”යි.

Courtesy – Getty
ස්නූප් ඩෝග් යනු ලොව ප්‍රබල රැප් කලාකරුවෙකු මෙන්ම ගංජා ප්‍රවර්ධකයෙක්

2019/20 තරග වාරයේ සිට NBA ක්‍රීඩකයන්ව අහඹු පරීක්ෂණවලට යොමුකිරීම සිදු වූයේ නැහැ.

කෙවින් ඩුරාන්ට් මේ වන විට ෆීනික්ස් සන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ලීගයේ ප්‍රබල ක්‍රීඩකයෙක්. ගංජා නීතිය ලිහිල් කිරීමට අදාළව NBA කොමසාරිස් ඇඩම් සිල්වර් වෙත කරුණු දැක්වූ අයගෙන් ඔහු ප්‍රමුඛයෙකු බව සඳහන් වනවා.

ඒක NBA මනුස්සයෝ. අවංකව කිව්වොත් හැමෝම ඒක කරනවා. මේ වෙනකොට ඒක වයින් වගේ,” යැයි ඔහු විසින් සඳහන් කොට තිබුනා.

ඔහු පවසන්නේ NBA කොමසාරිස් සිල්වර් මහතා 2014 සිට මේ කරුණ සම්බන්ධයෙන් ඔහු හා එකඟ වූ බවයි.

මම පැලය එන්ජෝයි කරනවා,” ඩුරාන්ට් පැවසුවා. මේ වන විට ඔහු ගංජා වගාකරන සමාගම් කිහිපයක් සමඟ ආයෝජනවලට ද යොමු වී තිබෙන බව සැලයි.

මෑත කාලීනව ඇමරිකාවේ අනෙකුත් ක්‍රීඩා ලීගයන් වන MLB (Major League Baseball), NFL (National Football League) සහ UFC (Ultimate Fighting Championship) වැනි ආයතන ද ගංජා සම්බන්ධ නීති රීති ලිහිල් කළා. එබැවින් මෙය ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තියේ මීළඟ පියවරක් දැයි සැකයක් ද පවතිනවා.

ඇමරිකාවේ ජනපද 23ක ‘විවේකය සඳහා ගංජා පානය’ නීති විරෝධී කටයුත්තක් ලෙස සැලකෙන්නේ නැහැ. එහෙත් ෆෙඩරල් නීතියට අනුව ගංජා ළඟ තබා ගැනීම නීති විරෝධීයි.

කෙසේ වෙතත් නිව්යෝක් නුවර සිටින මනෝවෛද්‍ය රයන් සුල්තාන් පවසන්නේ, ගංජා පානය නිසා මානසික සෞඛ්‍යය අයහපත් අතට හැරීමට හැකි බවයි.

මවිසින් පරික්ෂා කළ මානසික අසමතුලිතතාවයක් තියෙන හැමෝගෙන්ම එක්කෙනෙක්වත් නෑ ගංජා පාවිච්චි කළේ නැති බව කියන්න,” ඔහු NBC හමුවේ පවසනවා.

කොලොම්බියා අර්වින් විශ්ව විද්‍යාලයේ සායනික මනෝ විද්‍යාව පිළිබඳ උප මහාචාර්යවරයෙකු වන සුල්තාන්, යෞවනයන් සහ තරුණයන් අතර ජනප්‍රිය වෙමින් පවතින ගංජා පානය ගැන පර්යේෂණ පවත්වන ප්‍රධාන විශේෂඥයින්ගෙන් කෙනෙක්.

Courtesy – Medium
Caption – මහාචාර්ය රයන් සුල්තාන්

විශාදය, බයිපෝලාර් අක්‍රමිකතාව, භින්නෝන්මාදය වැනි මානසික රෝග සහ ගංජා පානය අතර ඇති සම්බන්ධය ගැන වැඩි වැඩියෙන් සාක්ෂි ලැබෙමින් පවතින බව සඳහන්.

ගොඩක් දෙනා ගංජා පානය කරන එක පමණක් නොවෙයි, ගොඩක් දෙනා එය අහිතකර විදියට පාවිච්චි කරන එක ගැන ගොඩක් අවධානය යොමුවෙනවා. වැඩි වැඩියෙන් THC (Tetrahydrocannabinol – ගංජාවල අන්තර්ගත ප්‍රධාන සංඝටකයක්) ශරීරයේ තැන්පත් වීම ගැන,” යැයි ඇමරිකා එක්සත් ජනපදයේ ඖෂධ අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳ ආයතනයේ (NIDA) අධ්‍යක්ෂ වෛද්‍ය නෝරා වොල්කොව් පවසනවා.

නවතම පර්යේෂණ වාර්තා වලින් පැවසෙන්නේ වයස අවුරුදු 21-30 අතර තරුණ තරුණියන් අතර පවතින භින්නෝන්මාද රෝගී තත්වය සහ ගංජා පානය අතර ඇති සම්බන්ධය පිළිබඳ සාක්ෂි වලින් තහවුරු වන බවයි.

මේක කරදර කරන සුළුයි,” වෛද්‍ය නෝරා පැවසුවා.

ගංජා යනු ඉපැරණි වේදනා නාශක ඖෂධයක්. එහෙත් එහි භාවිතයේ අනිසි ඵලවිපාක ගැන එක් අන්තයකිනුත්, එහි සෞඛ්‍යමය වාසි ගැන තවත් අන්තයකිනුත් වාද විවාද නැගීම මෑත කාලීනව දක්නට ලැබෙන ප්‍රවණතාවක්.

ගංජා පානය කිරීම හෝ නොකිරීම කෙනෙකුගේ අයිතියක් වුවද, අවසන් වශයෙන් පැවසිය යුතු වන්නේ මනස නම් අදෘශ්‍යමාන ඉන්ද්‍රිය බාහිරින් ලබාගන්නා යම්කිසි සංයෝජකයකින් පාලනය කිරීමට උත්සාහ කිරීම නිෂ්ඵල කරුණක් බවයි. එය තමා තුළින් සිදු විය යුත්තක් බව අවධාරණයෙන් පැවසිය යුතුයි.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය හේතුවලින් තොරව ගංජා භාවිතය සහ ළඟ තබා ගැනීම, මෙතෙක් නීතියෙන් වරදක්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<