Blue Eagles සහ Colombo FC අපරාජිතයි

Vantage FFSL President's Cup 2020

275

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අද (15) පැවති තරගවලින් SLTB සහ Crystal Palace ක්‍රීඩකයන් පරදමින් ජයග්‍රහණ වාර්තා කරන්නට Blue Eagles සහ Colombo FC ක්‍රීඩකයන් සමත් විය.

SLTB SC – Blue Eagles SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය SLTB කණ්ඩායමට තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ජයගත යුතුම තරගයක් වූ අතර 29 වැනි මිනිත්තුවේ දී පන්දුව දඬුවම් රාමුව තුල දී Blue Eagles ක්‍රීඩක ලක්මාල් ගුරුසිංහගේ අතේ දැවටීම නිසාවෙන් ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගයේ මුල්ම ගෝලය රැස්කර ගැනීමට SLTB ක්‍රීඩක ශම්මුගරාජ් සංජීව් සමත් විය.

ඉන්පසු ගෝලයක් ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථාවක් Blue Eagles ක්‍රීඩක කවිඳු ඉෂාන්ට මගහැරී ගිය නමුත් 41 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුව තුළ දී ලැබූ පන්දුවක් අලංකාරව ස්ථානගත කරමින් පළමු අර්ධය ගෝල සමව අවසන් කිරීමට Blue Eagles ක්‍රීඩක නෙත්ම මල්ෂාන් සමත් විය.

තරගයේ 47 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී පන්දුව SLTB ක්‍රීඩක ෆාහිම්ගේ අතේ දැවටීම නිසාවෙන් හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් කණ්ඩායමට දෙවැනි ගෝලය රැස්කර දීමට Blue Eagles ක්‍රීඩක චතුරංග ප්‍රනාන්දු සමත් විය.

54 වැනි මිනිත්තුවේ දී අලංකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් පන්දුව දඬුවම් රාමුව වෙත ගෙන ඒමට Blue Eagles ක්‍රීඩක කවිඳු ඉෂාන් සමත් වූවත් ගෝල රකින්නාගේ දස්කම් නිසාවෙන් ගෝලයක් රැස්කර ගැනීමේ අවස්ථාව අහිමි වූ නමුත් තරගයේ 89 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුව තුළ සිට පන්දුව දැල වෙත යොමු කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් තෙවැනි ගෝලය ලබා දීමට කවිඳුට හැකි විය. 

අවසන් ලකුණු තත්වය: SLTB SC 01 (01) – 03 (01) Blue Eagles SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • SLTB SC: ශම්මුගරාජ් සංජීව් 29’
  • Blue Eagles SC: නෙත්ම මල්ෂාන් 41’, චතුරංග ප්‍රනාන්දු 47’, කවිදු ඉෂාන් 89’

තවත් කියවන්න: 

Crystal Palace FC – Colombo FC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ද Crystal Palace ක්‍රීඩකයන්ට තරගාවලියේ ඉදිරිය තීරණය කරන තරගයක් වූ අතර තරගයේ 15 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුලට ලැබුණු පන්දුවක් නිවැරදිව ස්ථානගත කරමින් තරගයේ පළමු ගෝලය රැස්කිරීමට Colombo ක්‍රීඩක ශබීර් රසූනියා සමත් විය.

එම ගෝලය ලබා ගැනීමෙන් පසුව 27 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව අසලම ලද නිදහස් පහරක් සාර්ථක කරගනිමින් කණ්ඩායමට දෙවැනි ගෝලය රැස්කර දීමට Colombo ක්‍රීඩක ජෝහාර් සමත් විය. එම අර්ධයේම 33 වැනි මිනිත්තුවේ දී Crystal Palace ගෝල රකින්නාගේ අතේ වැදී ආ පන්දුවක් නැවත දැල වෙත යොමු කර ගෝලයක් ලබා ගනිමින් ඉතා ශක්තිමත්ව පළමු අර්ධය නිමා කර දීමට Colombo ක්‍රීඩක ආකීබ් සමත් විය.

Colombo ක්‍රීඩකයන් වෙනුවෙන් 59 වැනි මිනිත්තුවේ දී රසූනියා යොමු කළ පන්දුවක් ස්ථානගත කරමින් තරගයේ සිව්වැනි ගෝලය රැස්කර දීමට ජෝහාර් සමත් වූ අතර 86 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කිරීමට Crystal Palace ක්‍රීඩක ඇබා (Aba) සමත්වූවත් තරගයේ වෙනසක් සිදු කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්වය: Crystal Palace FC 01 (00) – 04 (03) Colombo FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Crystal Palace FC: ඇබා 86’
  • Colombo FC: ශබීර් රසූනියා 15’, ජෝහාර් 27’& 59’, ආකීබ් 33’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<